Wednesday, March 2, 2011

♣ කන්‍යාවියන් සොයාගිය අසම්පූර්ණ චාරිකාව...


     ඉතින්... ඉතින්... කොහොමද? මාස දෙකහමාරක් තිස්සෙම නිහඩව ඉදල ඔන්න නැවත සුපුරුදු මම එලියට ආවා. විභාගත් ඉල්ලන් දාගත්තු බාල්දි කිහිපයකුත් නිසා පහුගිය ටිකේ කොහේවත් යන්න බැරි උනා. ඒ නිසා ලිපියක් ලියන්න මාතෘකාවක් තිබ්බෙත් නෑ. මගේ කැමතිම මාතෘකා ඉතින් මං ගියපු කඳු, කැළෑ, දිය ඇලි වගේ ඒව තමයි. වැඩි විස්තර නැතුව කියන්නම් මේපාර කොහෙද ගියේ කියලා. ඇත්තටම අපි ගියේ සප්ත කන්‍යා කඳු වැටිය බලල අඩුම තරමෙ එක කන්දක් හරි නැගල එන්න. අවාසනාවකට අපිට එක කන්දක පොඩි දුරකට විතරක් ගමන සීමා කරන්න උනා. ලිපිය පටන්ගත්ත ගමන් ඉවර කරන්න හොඳ නැති නිසා මම මුල ඉඳල විස්තරේ කියන්නම් කෝ. :-)
සුන්දර කන්‍යාවියන් මගේ කැමරා කාචයේ සටහන් වෙලා තිබුනේ මෙන්න මේ විදියටයි.



     අපි ඉතින් හැමදාමත් වගේ සාක්කුව ගැන හිතල ගමන් යන අය නිසා මෙදා පාරත් දුරියෙන්ම ගමන ආරම්භ කරන්න සෙට් උනා. සඳුදා සවස්‍ යාමයක්වූ එදින අපට ආශිර්වාදයට මෙන් මල් වැස්සක් නොව මොරසූරන වරුසාවකුත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අවට පතිත උනා. කෙසේ හෝ රාත්‍රී 8ට කොටුවෙන් පිටත්වන රාත්‍රී තැපැල් දුම්රියට අපි ගොඩනැග්ගේ කෙසෙල් කොළයක ඔතා ගෙදරින් ගෙනැත් තිබුනු හොඳ බත් මුලකටත් වගකී පසුවයි. අපේ ගමනාන්තයවූ හැටන් දුම්රිය ස්ථානයට කොටුවේ සිට එක් මගියෙකුට රු. 140 වැයවන අතර එම දුම්රිය රාගම, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, රඹුක්කන, කඩුගන්නාව, පේරාදෙණිය හන්දිය සහ නාවලපිටිය යන දුම්රිය ස්ථාන පසුකර හැටන් වලට පැමිණෙන විට උදෑසන 1ට ආසන්නව තිබුනි. (ඇතැම් දුම්රිය ස්ථාන මට මග හැරී ඇත්නම් ඒ ස්ථානවලදී මම සැප නින්දේ පසුවූබව කරුණාවෙන් සළකන්න ;-) ) මම මෙතරම් විස්තර සහිතව මේ ලිපිය ලියන්න හිතුවේ අන්තර්ජාලය භාවිත කරන සහ මෙවන් ගමන් යන හිත වතුන්ට හොඳින් සූදානම්ව ගමන ආරම්භ කරන්න උදවුවක් වශයෙනුයි. මොකද නැත්නම් අපිට වගේ ගමන සම්පූර්ණ කරන්න බැරිවෙයි සමහරවිට.

     උදෑසන වනතෙක් දුම්රිය ස්ථානයේම බංකුමත ඇල වෙන්නට සිතාගත් අප සුළු මොහොතකින් රැගෙන ආ ඇදුම් දෙක තුන එක මත එක ඇද ගත්තේ සීතල සුළං අප ඇඟ විනිවිද යන්නාක් මෙන් හැඟුනු බැවිනි. කෙසේ හෝ උදෑසන 6ට පමණ ගෙනැවිත් තිබුණු රොටියක් ගිලදමා හැටන් බස් නැවතුම් පොළ වෙත පියමැන්නේ හැකි තරම් කල්වේලා ඇතුව සප්ත කන්‍යාවියන් වෙත යාමට තිබූ නොඉවසිලිමත් බව නිසාමය. ටික දුරක් පාගමනින් ගිය අපට බස් නැවතුන් පොළ සොයා ගැනීම අපහසු නොවුනත් නිවැරදි බසය සහ අදාල බසය එන නිවැරදි වේලාව සොයා ගැනීමට තරමක් වේලා ගතවිය. පාසල් කාලයේදී අකුරු කිහිපයක් ලිවීමටත් විශ්ව විද්‍යාල නවක වදය සමයේදී කට පාඩම්කර වාක්‍ය පහක් තෙපලීමටත් පමණක් සීමාවූ අපගේ දමිළ භාෂා දැනුම ඊට එක් හේතුවක් විය.

     උදෑසන 7.30ට නෝර්ටන්බ්‍රිජ් වෙත යාමට බසයක් පැමිනි අතර ගමනාන්තය වෙත යෑමට එක් මගියෙකුට රු.33ක් වැයවිය. දික් ඔය, ඔස්බෝන් වත්ත ආදිය පසුකරමින් උදෑසන 8.20 පමණ වනවිට අපි නොර්ටන්බ්‍රිජ් වෙත ළඟා උනෙමු. ඒ අතරමගදී හමුවූ කාසල්‍රී ජලාශයේ දසුනක් මගේ ජංගම දුරකතන කැමරාවේ පහත ආකාරයට සනිටුහන්වී තිබුනි.



     මේ මඟ අපිට නම් අළුත් උනාට සිරිපා කරුණා කරන්න වාහන වලින්‍ යන නඩ වලට නම් සුපුරුදු පාරක්. මේ තැනත් හරි විශේෂයි. මොකද කියනවනම් ලක්ෂපාන වේල්ල පිහිටා තියෙන්නෙ මෙතන. ඔන්න ඉතින් ඒකෙ ඡායා රූපෙකුත් එකතුකරා.



     ලක්ෂපාන වේල්ල මතින් යන මාවත වැටෙන්නෙ ගිනිගත්හේන පැත්තට. අපි එනකොට ආවේ ඒ පාරේ. හැබැයි අපිට යන්න ඕන පාර අනිත් එක. ඔතන තියෙනවා ආරක්ෂක මුර පොළක්. ඒ අය මාටින් එයාර් ගුවන් යානයේ රෝදයක් එහෙම එතන තියල වේල්ල අවට ඡායා රූප ගැනීම එහෙමත් තහනම් කරල තියෙන්නේ. එපා කියන වැඩ කරන්න මං හරි ආස නිසා ඡායා රූප තුන හතරක් අරගත්තා. ගත්ත ඡායා රූප වලින් තවත් එකක් ඔය ගොල්ලන්ට බලන්න කියල ඔන්න එකතුකරා. හැබැයි ඔය ගොල්ලො මේ ඡායා රූපෙ ගැනනම් දැන ගන්න වටින දෙයක් තියෙනවා. අපේ ලංකාවේ සප්ත කන්‍යා කඳු වැටිය ලොව පුරා ප්‍රසිද්ධ වීමට එක් හේතුවක් උනේ, 1974දී මගීන් 191 දෙනෙක් මිය පරළොව යවමිනි සිදුවූ ගුවන් යානා අනතුරයි. එම ගුවන් යානය ඕලන්ද රජය සතුවූ අතර එහි රෝදයක් තමා මෙතන තියෙන්නේ. හැබැයි ඇත්තටම අනතුර උනේ මීට හත් ගව්වක් විතර එහා, ඒ කියන්නේ හරියටම අපි යන කඳුවල ගැටිලා :-D


     ඔන්න ඉතින් උදේ 8.45ට විතර නොර්ටන්බ්‍රිජ් වල ඉදන් මස්කෙළියට යන්න බස් එකක් සෙට් උනා. අපේ නැවතුම් පොළ වන හතරෙ කණුවට නම් එක් මගියෙකුට වියදම් වෙන්නෙ රු. 15ක් විතරයි. සුන්දර දසුන් මධ්‍යයේ අපි අපේ රථ වාහන වල ගමන් වල කෙළවරට ආවා. මෙතන ඉඳන් තියෙන්නේ දෙවියො අපිට දීපු වාහනෙන් ඒ කියන්නේ මේ අපේ කකුල් දෙකෙන් ගියපු ගමන ගැන කතාව. ඒ ගැන විස්තර වෙන ලිපියකින් කියන්නම්, මොකද හිතුවට වඩා මේ ලිපිය දික් උනා. එහෙනම් නැවත හමුවන තුරු මගේ මුහුණු පොතේ තියෙන චාරිකාවට අදාළ ඡායා රූප ටික බලන්න. ගිහින් එන්නම්... :-)

2 comments:

සංකල්ප said...

ගොඩක් වටින විස්තර ටිකක් !!!! බොහොම ස්තුතියි මේ ලිපියට

AnujAroshA said...

බොහොම ස්තුතියි ප්‍රතිචාරයට :-)
ඊළග ලිපියෙ කන්දට යන හැටි දාන්නම්.