Monday, September 6, 2010

හුදකලාවූ ආත්මයකට පන පොවන වෙස්සගිරිය

    
     පූජනීය නගරයක් වූ අනුරපුර, වෙස්සගිරියට හිමිවන්නේ වෙනමම වැදගත්කමක්. ඒ කියන්නෙ මෙය වන්දනාමනයට පාත්‍රවන තැනක් නොවුනද ආදිකාලයේ භාවනානුයෝගීව වැඩසිටි පිරිස් මෙම ස්ථානය බහුලව භාවිත කරල තියෙනවා. මම මෙම ලිපිය ලිවීමේ අරමුණ, මා මෙන්ම ලස්සන පරිසරය බලන්න කැමති කාටහෝ පොඩි ඉඟියක් දීම. එහෙම කිව්වම මතක් උනේ ඔය ගොල්ලො දන්නවත් ඇති එක පොහොසත් මනුස්සයෙක් දෙපාරක් හඳට ගිහින් තියෙනවලු. සාමාන්‍ය මිනිහෙක් එහෙම දෙයක් කරන්න වියදම් කල යුතු මුදල් ප්‍රමාණයගැන මං අමුතුවෙන් කියන්න ඕන නෑ මං හිතන්නේ. එක එක් කෙනාගෙ ආශාවන් වෙනස් ඒ නිසා ඔහු කරපු දේ ගැන මට මුකුත් කියන්න නෑ. ඒත් මේ ලෝකෙ, අපේ ලංකාවේ අපි නොදැකපු ලස්සන තැන් කොච්චර කියල තියෙනවද?


     මම මුලින්ම කියන්නම් වෙස්සගිරියට යන්නෙ කොහොමද කියලා, හැබැයි මම ගියෙනම් යතුරු පැදියක නිසා පැහැදිලි විස්තරයක් කියන්න අමාරුයි. ඒත් කමක් නෑ දන්නටික කියන්නම් කෝ. මේක තියෙන්නේ පරණ අනුරාධපුර - කුරුණැගල මාර්ගයේ. අනුරාධපුරේ ඉදන් යනකොට ඉසුරුමුණියට හැරෙන්න පාරක් හම්බවෙනවා. ඒකෙන් හැරෙන්නැතුව කෙළින්ම තව මීටර කීපයක් ගියාම ගල් පර්වථ වලින් හැදුනු ලස්සන පළාතක් තියෙනවා. අන්න ඒක තමයි මම මේ කියන වෙස්සගිරිය.


     ඇත්තටම කිව්වොත් මෙතන කලින් පොඩි පන්සලක් තිබිල තියෙනවා ඒත් මෙතන තියෙන විශේෂත්වය විදියට මමනම් දකින්නෙ විස්සකට ආසන්න ප්‍රමාණයක් තියෙන ගල් ගුහා. මම මුලිනුත් කිව්වනෙ මෙතන භාවනා කරන්න එහෙම හොඳ තැනක් කියලා. අදටත් එතන ගල් ගුහාවක තාපසතුමෙක් ඉන්නවා. ඔහුනම් දිගටම එතන ඉන්න කෙනෙක්ලු, ඔය ගොල්ලන්ටත් ගියොත් බලාගන්න පුලවන්. ඊට අමතරව එදානම් උපාසක මහත්මයෙකුත් හිටිය. කුතුහලය නිසාම ඔහුත් එක්ක කථාකරල බැලුවම තමා දැන ගත්තෙ ඔහුත් එදා රෑ ගල්ගුහාවක ගත කරන බව. අපි එතනින් එනකොටත් රෑ වෙලා ඒ එන වෙලාවෙත් ඔහුනම් එතන හිටියා.

     මෙතන බ්‍රාහ්මී අක්ෂර සහ කටාරම් කොටපු ගල් ගුහා නම් බහුලව දැකගන්න පුලුවන්. සමහරක් පුරාවස්තුනම් කෞතුකාගාරයට ගෙනිහින් කියල ඒ පුරාවස්තු තිබුන තැන ගලක කොටල තිබුනා. මෙතන කලින් පිළිම ගෙයක්, ස්වාමීන් වහන්සේලා ආහාර වළඳපු තැනක් ආදිය තිබුනලු. හැබැයි දැන්නම් ඒතැන් වල තියෙන්නේ පොඩි ගල් කනු ටිකක්, ඉතුරු සේරම විනාශවෙලා.



     මම විස්තර කිව්වා වැඩියිද මන්ද? කොහොම උනත් ගිහින් බලන තරම් ආතල් එකක් නම් වෙන නෑ. ඔයගොල්ලොත් ගිහින් බලන්න, යන්න කැමති අයට යන විදිය හරි කියන්න. ඔය සමහර කුහක මිනිස්සු වගේ සේරම හංගන් ඉන්න එපා. ඒගොල්ලො හිතන්නෙ ඒ අය විතරක් පරිසරය දැක්කම ඇති කියලා. මේවා කාගෙවත් පෞද්ගලික දේවල් නෙමේ හැමෝටම රස විදින්න සහ ඒ ආකාරයෙන්ම මතුපරපුරට ආරක්ෂා කරල දෙන්න තියෙන දේවල්. මං මෙහෙම කිව්වෙ නකල්ස් පැත්තෙ සවාරියක් යන්න කියලා හිතාගෙන ගියපු කෙනෙක් ගෙන් විස්තර අහන්න ගිහින් විදින්න උන දුක මතක් උන නිසා. මට විස්තරයක් කියන්න විනාඩි පහක් හොයාගන්න බැරි ඔහුගෙ ඇතැම් වැඩ කරල දෙන්න මම පැයගනන් නාස්තිකරල ඇති. සුන්දර විස්තරයක් අවසානයේ අසුන්දර වචන දෙක තුනක් දැම්මට සමාවෙන්න, ඒත් මේව තමා අටලෝ දහම කියන්නෙ මන් දන්න තරමින්. සතුට සහ දුක කියන්නෙ එකම කාසියෙ දෙපැත්තලුනෙ.



     වෙස්සගිරියෙ සුන්දර පින්තූර බලන්න ඕනනම් මගෙ මුහුණු පොතට ගොඩවෙන්නකෝ. එහෙනම් මන් ගිහින් එන්නම්. ආයි හම්බ වෙමුකෝ... :)

Wednesday, September 1, 2010

මාගේ තන්තිරිමලේ සවාරිය

     මුලින්ම මම කියන්න යන්නෙ කොහොමද මේ ගමන සිද්ධවුනේ කියන එක. ඇත්තටම කිවුවොත් වල්පල් ටිකක්; හිතේ ඇතිවුන සංවේගයක් කියලත් කියන්න පුළුවන්; ඒත් සමහරුන් නම් කියයි උඩබලා ගෙන කෙළ ගහ ගැසීමක් කියල. මොනා උනත් මේකයි ඇත්ත ජීවිතය. ඒ නිසා කෙළින්ම මාගේ සවාරිය ගැන කියවන අය ඊළඟට ලියන ඡේදය අතඇරලා කියවන්න. ඒත් සමහරුන්ට නම් ඒ ඡේදය කියවලා මොනාහරි දෙයක් ඉගෙන ගන්න බැරි වෙන එකකුත් නෑ ;)




     මම හුඟක් කැමති විනෝද චාරිකා යන්න. විශේෂයෙන්ම කැළෑ වල ඇවිදින්න. මම මගේ *** මිතුරන් එක්කත් ඒ වගේ ගමනක් ගියා. ඒත් දැන් ඒ ගොල්ලන්ට ප්‍රශ්නලු. සමහරුන්ට ආදරවන්තියගෙ ප්‍රශ්න, සමහරුන්ට මුදල් පස්සෙ යනවා ඒ අතර තවත් සමහරු බොරු "busy". ඒත් ඇත්ත කථා කරොත් සමරු කැමතිනෑ තවත් සමහරුන් එක්ක යන්න. විශ්ව විද්‍යාල භාෂාවෙන් කිව්වොත් "ගැට්ටෙ ප්‍රශ්න". තවත් සමහරු ගෑණුවගේ වැඩ. ඒ ගැන වැඩි විස්තර කියන්න යන්නෑ මොකද අහක ඉන්න අය ඇදගෙන බාල්දි දාගෙන පස්සෙ මගෙත් එක්ක ඇරගන්න ඒවි ;) ඔන්න ඔහොම *** මිතුරන් කියන උප කුලකය අයින්වෙනවා. දැන් තමයි නියම උප කුලකය එන්නෙ. ඒ තමා මාගේ ***(වේ) පරපුර. ඒ අය එක්ක චාරිකා යන්න ගාස්තුව රු. 20000. මේකත් මේ වැඩිම වුනොත් දින තුනක චාරිකාවක්ලු. සමහරු හිතයි පිටරට යන්නවත්ද කියල. අපෝ නෑ, මේත් ලංකාව ඇතුලෙමයි. හිනා වෙන අය අධෝමාර්ගයෙන් උනත් කමක් නෑ හිනා වෙන්න. සල්ලි කියන්නෙ සමහරුන්ට නම් හැම දේම වෙන්න ඇති. මටනම් එහෙම නෑ. මම මේ ලොකු කමකට කියනවා නෙමේ (කැමති අය එහෙම හිතා ගත්තත් මගේ නම් කිසිම අමනාපයක් නෑ). මට පුද්ගලික වාහනයක් නැතුව පුද්ගලික පන්තිවලට සහභාගි නොවුනු අතීතයකුත්, දවසකට මාරි බිස්කට් දෙකක් කාල ජීවත්වුන අතීතයකුත් යන දෙකම තියෙන නිසා තමා මම කිව්වේ මම සල්ලි ගැන එතරම් විශ්වාස කරන් නැ කියලා. ඔන්න ඒ කුලකෙත් ඉවරයි මගෙ වල්පල් ටිකත් අහවරයි.




     ඔන්න ඔහොම මම තනියම යන්න ඉන්නකොට තමා "මස්සිනා මහත්තයා" මාත් එක්ක යන්න සෙට් වුනේ. ඔහුත් පුදුම චරිතයක් උනා. අතීතයේ ඔහුගේ වැඩ මට ඇල්ලුවෙ නැතත් මිනිහට පුළුවන් උනා අන්තිමට අපිට ඉතිරි වෙන්නෙ අපි කිහිප දෙනා විතරයි කියල ඔප්පු කරන්න. ඒ නිසා දැන්නම් අපි බුදු ෆිට් ;) තන්තිරිමලේ තියෙන්නෙ අනුරාධපුරෙනුත් තව 40 km විතර ඇතුලට වෙන්න. විලච්චිය පාරෙ මුලින්ම ගමන් කරන්න ඕන. ඇලයාපත්තුව, ඔයාමඩුව පහුකරගෙන තන්තිරිමලේ හන්දියට මුලින්ම එන්න. පල්ලෙහා පොඩි සටහන් 2ක් දැම්මා ඔන්න පාර වරද්දගන්නැතුව යන්න.


     මුල් සටහන මුලින්ම හම්බ වෙන වංගුව. ඒක පහු කරාට පස්සෙ තමයි දෙවැනි සටහනේ තියෙන වංගුව හම්බ වෙන්නෙ.

     මේ ස්ථානය විජය රජ්ජුරුවන්ගෙ කාලය දක්වා මතකය අතීතයට අරගෙන යන තැනක්. ඔහුත් එක්ක පැමිණි උපතිස්ස කියන ඇමතිවරයා තමයි මුලින්ම මෙහේ ජනාවාස පිහිටුවන්න පටන් අරගෙන තියෙන්නෙ.


     මෙතන තියෙනව ප්‍රධාන වශයෙන් හඳුනාගත්තු තැන් අටක් විතර. මම සෙරම කියන් නැතුව කිහිපයක් කිව්වොත් එහෙම සංඝාරාමයක්, පධාන ගරයක්, ලෙන් ලිපි, සමාධි පිළිම සහ පොත් ගුල් යනාදිය. හැබැයි ඒටික බලන්නත් අක්කරගානක් විතර කැළැ සහ ගල් කඳු මතින් බඩ ගාන්න වෙනව. ලේසියෙන්ම යන්න ඕන අයට පොඩි සිතියමකුත් ඒකෙ කෞතුකාගාරය තුල තියෙනවා. ඒත් හොයගෙන යන එක තමා ආතල්ම වැඩේ.

     ඔය පල්ලෙහා තියෙන්නේ මම කියපු කෞතුකාගාරය ඇතුලෙ පින්තූරයක්. පින්තූරයක් කිව්වම මතක් උනේ මගේ ඇතුළු මගෙ යාළුවො බොහොමයකගෙ (විශේෂයෙන්ම කන්නගෙ) රසබර මතක සටහන් එකතුකරගත්තෙත් මේ පින්තූර ගත්තෙත් මගෙ ජංගම දුරකථනයෙන්. මේ ලිපිය දික්වෙන නිසා මම සෙරම පින්තූර මේකට ඇතුලත් කරේ නෑ තවටිකක් මුහුණු පොතේත් උඩුගත කළා.



     මං හිතන්නෙ මේ ලිපිය දැන් අහවර කර යුතුයි වගේ...