Tuesday, July 20, 2010

sb දන්න ***

     ලංකාවේ එක් දේශපාලුවෙක් ( මින් ඉදිරියට ලිවීමේ පහසුවතකා ඔහුව sb යන කෙටි නාමයෙන් හදුන් වන්නෙමි ) පසුගිය දිනකදී (අද 2010.07.20) ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්හ කිරීම සහ දැනට පවතින විශ්ව විද්‍යාල සම්බන්දව පෞද්ගලික නාලිකාවකට  පළ කල අදහස් කිහිපයක් මාගේ හිතටද තදින් කා වැදුනි. මෙය කාටවත් කඩේ යාමක් හෝ මඩ ගැසීමක් නොවන බවද, හැකිතාක් මධ්‍යස්ථව මේ දෙස බලන ලෙසත් මුලින්ම මතක් කිරීමට කැමතිය.

     ලංකාවට විශ්ව විද්‍යාල අවශ්‍ය බව නම් ඕනෑම මුග්ධයකුහට වැටහිය යුතු කරුණකි. කිමදයත් උසස් පෙළ සමත්වන ලාංකික සිසු පිරිසෙන් විශ්ව විද්‍යාල වරම් ලැබීමට හැකි වන්නේ ඉතා සුළු පිරිසකටය. ඊට හේතුව අනෙක් පිරිස අදක්‍ෂවීම නොව ඔවුන් සදහා අධ්‍යාපන පහසුකම් සැපයීමට රජයේ විශ්ව විද්‍යාල අපොහොසත් වීමයි. නව ජාත්‍යාන්තර ගුවන් තොටුපොළවල්, නව ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන ඉදිවන මේ ලක්දිව ඔබට මතක ඇති කාලයක රජයක් විසින් නව විශ්ව විද්‍යාලයක් ඉදිකිරීමට මුල් ගලක් තබා ඇත්ද? මුල් ගල කෙසේවෙතත් එවන් දෙයක් පිළිබද හා හූවක් වත් නැත. තවද පෞද්ගලික රෝහල් රජයට පවරාගෙන පෙර නොවූ විරූ ලෙස ලාභ ලබා ඇතිබවට උදම් අනා වැඩි කලක් නැත. ඒ පිළිබද පුවතද මම පෙර සදහන් කල නාළිකාවෙන්ම විකාශය කරන ලදී. එවන් වාථාවරණයක් පවතින රටක උසස් අධ්‍යාපනය නගා සිටුවීම සදහා රජයට මුදල් යෙදවිය නොහැකිවීම හාස්‍යයට තුඩුදෙන කරුණකි. sb ට අනුව ඒ සදහා පරදේසක් කාරයින් පැමිණ ඔවුන්ට කැමති පරිදි විශ්ව විද්‍යාල තැනියයුතු හෝ ඔවුන්ගේ පදයට නටන ඩොලර් නෝට්ටු වලට වශීවුන හිවලුන් එවන් විශ්ව විද්‍යාල අරඹන තෙක් අප අහිංසක සිසු සිසුවියන් බලා සිටිය යුතුය. ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුගේ මසක නඩත්තුව ගැන දැන් අපට කට පාඩම්වන තරම් කතාකර ඇත්තෙමු. ඒ සදහා වැයකරන මුදලේ වැඩි වීමක් මිස කිසිදු කප්පාදුවක් නම් දක්නට නැත. එහෙත් ලංකාවතුල පර්යේශන (research) සදහා වැයවන මුදලක් ගැන ඔබ කෙදිනක හෝ අසා ඇත්ද? එවන් සැළකියයුතු මුදලක් ගැන අසා ඇත්නම් ඔබ ලංකාවේ විද්‍යා, ගණිත, තොරතුරු තාක්‍ෂණ අංශයන්හි ආචාර්ය (PhD) උපාධි ලබාගත හැකි නීත්‍යානුකූල තැන් ගැනද අසා ඇතුවා ඇති. එහෙත් කරුමයකට මම දන්නා සෑම රජයේ විශ්ව විද්‍යාල ආචාර්‍යවරයකුම එය ලබා ඇත්තේ වෙනත් රටකිනි. ඇතැම් අවස්ථාවල විශේෂත්වය වන්නේ, ලංකාවෙන් ආචාර්‍ය උපාධිය ගැනීමට ගිය පුද්ගලයාගේ අධීක්ෂකවරයා වන්නේ එම පිටරට විශ්ව විද්‍යාලයේ උගන්වන තවත් ලාංකික මහාචාර්‍ය වරයෙකි. ඉතා සුමට සරල බසින් වැල්වටාරම් නැතුව කියනවනම් ලංකාවතුල සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නැත. විශ්ව විද්‍යාලයකට සුදුසුකම් ලබන්නේ දක්‍ෂයන්ගෙන් දක්‍ෂයෙකි. ඉන් පිටවන බොහෝදෙනා කුමන හෝ සමාජයට වැඩදායිවන අංශයකින් අතිදක්‍ෂයෙකි. මෙහිදී මම " බොහෝදෙනා " යන පදය භාවිතයට ගත්තේ ගිරවුන් සහ පරපෝශිතයන්ද බිහිවන බව දැක ඇති නිසාවෙනි. කෙසේවෙතත් විශ්ව විද්‍යාලයෙන් පිටවන උපාධිදාරියාට ඊට සුදුසු රැකියාවක් සොයාගැනීම කළුනික සොයනවාටත් වඩා අපහසු කර්තව්‍යයකි. ඊට එක් හේතුවක් ලෙස රැකියා හිඟකම පිළිතුරක් වුවද මම දකින ලෙස සැබෑම හේතුවනම් නුසුදුසු පුද්ගලයින් දේශපාලුවන්ගේ බලතල උපයෝගී කරගෙන අදාල තැන්වල අරක්ගෙන සිටීමයි. මම විශ්ව විද්‍යාල ශිෂ්‍ය සහ රාජ්‍ය සේවක යන සමාජ අවස්ථාවන් දෙකම අත්දැක ඇත්තෙක්මි. එමනිසා මෙය සුරංගනා කථාවක් නොව ලාංකීය සමාජයේ ඇතමුන් නොදකින පැතිකඩක් සහ දකින පිරිස කථා කිරීමට අකමැති පැතිකඩක් බව පමනක් මතකතබා ගන්න.



     සියළු දෙනාටම ඉගෙනීම සදහා අයිතිවාසිකමක් ඇත. එසේම උගත් පුද්ගලයාට සමාජයේද තැනක් හිමිවිය යුතුය. එය ඔහුට අමුතුවෙන් පිරිනැමිය යුතු දෙයක් නොව. සමාජය විසින් කලයුත්තේ ඔහුගේ දක්‍ෂතාවයෙන් ප්‍රයෝජන ගැනීම පමණි. විශ්ව විද්‍යාල සිසුන්ව දේශපාලන අතකොලුන් කරගෙන තම පටු අදහස් ඉෂ්ඨ කරගත් දේශපාලුවන්ම අද ඔවුන්ව පගා දමයි. පිටකොන්දක් නැති විශ්ව විද්‍යාල සිසුන් ලෙස හුවා දැක්වීමට උත්සහකරන ඇතම් පිරිස්හට කනගාටුවෙන් වුවද කීමට සිදුවනුයේ මෙය ඔවුන්ට හොද පාඩමක් බවය. එහි අනෙක් පැත්ත වන්නේ ඔය කියන දේශපාලුවන් කීයෙන් කීදෙනෙක් ලංකාවේදී උසස් පෙළ සමත්ව ලංකාවේ විශ්ව විද්‍යාලයකට යාමට වරම් ලැබූ අයද යන්නයි. sb නම් දේශපාලුවා ප්‍රසිද්ධ වේදිකාවක බස හැසිරවීමට තරම්වත් නොදත් කටුස්සෙකි. තුට්ටු දෙකේ අරමුණු වෙනුවෙන් තම දිවියේ ප්‍රතිපත්ති පාවා දෙන මෙවන් පුද්ගලයින් හමුවේ ලංකාවේ උසස් අධ්‍යාපනය විනාශවීමට ඉඩ හැර අප මුකවාඩම් බැද සිටියම හරිද?

     දියුණුවන ලොවහමුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අව්ශ්‍යය. එහෙත් ඒ සදහාද පැහැදිලි ප්‍රතිපත්තියක් තිබිය යුතුය. එය දේශපාලන පක්‍ෂයක් වෙනස් වන විට වෙනස් වන්නටත් අදාල විශය බාර අමාත්‍යවරයා වෙනස් වන විට වෙනස් වන ආකාරයේ දෙයක් නොවිය යුතුය. ඒ සදහා තීරණ ගැනීමේදී පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙන් පමණක් සැදුම් ලද කමිටුවක් ඩොං ගහන්නද? එය හරියට චන්දයක් ලංවූකල්හි දේශපාළුවන් සාමාන්‍ය ජනතාව මුන ගැසීමට පැමින ඔවුන් සමග කාලීන ප්‍රශ්න සාකච්චා කරනවා ලෙස හුවා දක්වනවා වැනි දෙයකි. කිමදයත් එම සාමාන්‍ය ජනයා ලෙස පෙනීසිටින්නේද එම දේශපාළුවන් සල්ලිවලට නම්වා ගත් තමන්ගෙම කටු කන බල්ලන්ය. කොටින්ම කියතොත් ලංකාවේ උසස් අධ්‍යාපනය සම්බන්ධව තීරණ ගැනීමේදී එම කමිටුවට දේශපාළුවට කඩේනොයන මහාචාර්‍යවරුන්, ප්‍රසිද්ධ ව්‍යාපාරකයින්, ව්‍යවසායකයින් සහ ස්වාධීන විශ්ව විද්‍යාල සිසුන් කිහිප දෙනෙක් අනිවාර්‍යයෙන් සිටිය යුතුය. මා තොරාගත් සංයුතිය සාධාරණී කරණය කරනවානම්, ඉගෙනීමට සුදුසු වටපිටාවක් හා තමන් ලබන දැනුම ගැන අවබොධයක් ඇති පිරිසක්, උගන්වන විශයයන් සහ එහි ගැඹුර ගෙන අවබෝධයක් සතු පිරිසක්, රටේ පවතින රැකියා සහ ඒ සදහා බදවා ගැනීමට බලාපොරොත්තුවන පිරිස පිළිබද අවබෝධයක් ඇති පිරිසක් සහ නව රැකියා අවස්ථාවන් සහ නිර්මාණශීලී අදහස් ඇති පිරිසක් යන කොට්ඨාශ නියෝජනය වන පරිදිය.

     ලිවීමටනම් බොහෝ දෑ ඇත. මෙය ලිවීමට පටන් ගැන්මේදී තිබූ ආවේගය තරමක් දුරට මැඩපවත්වා ගත හැකිවූනිසා ඉතුරුටික sb වැනි තවත් බල්ලෙක් හෝ ඔහුම වෙනදාක උඩුබිරූ මොහොතක ලියන්නෙමි.