Tuesday, October 19, 2010

♣ අලියා නූතනයේ ප්‍රයෝජනවත් සත්වයෙක්ද?

     ඔන්න මං ආයිත් ආවා "අලි" කථාවක් අරගෙන. අද මගේ මාතෘකාවට පාදක වෙන්නේ ප්‍රශ්නයක්. ඒකට මම මගේ උත්තරේ අන්තිමට දෙනකන් මට අහන්න දකින්න ලැබුනු දේවල් ටිකක් සම්බන්ඳව මුලින් කියල ඉන්නම්. ඇත්තටම ඉස්සර කාලෙ අපි අලින්ගෙන් ගත්ත ප්‍රයෝජන මොනවද? ලී කොටන් අදින්න වගේ ලොකු බර දේවල් අදින්න, ගමන් බිමන් යන්න, යුධ කටයුතු වලට, පෙර හැරවල් වලට ආදී නොයෙක් දේවල් වලට අපි අලින්ව ප්‍රයෝජනයට ගත්තා. ඒත් අදනම් අලියා තාප්පයේ පෝස්ටරයකට සීමාවුනු සතෙක් වෙලා.

     දැන් අපි බලමු ඇයි එහෙම වුනේ කියලා. අපිට දැන් බර දේවල් අදින්න වෙන පහසු සහ කාර්‍යක්ෂම යන්ත්‍ර උපකරණ තියෙනවා. ඔය ගොල්ලො දන්නවද දන්නෑ, අලියට දිනකට කිලෝ 150ක් විතර කන්න ඕනලු ඒවගේම තමයි බොන්න වතුරත්. යන්ත්‍ර නඩත්තු කරනව වගේම වැඩ ගන්න සත්තුන්වත් නඩත්තු කරන්න ඕන. යන්ත්‍රයක් නම් වැඩ නැති කාලෙකට ඔහේ පැත්තකට දාල තියන්න පුළුවන්. හැබැයි අලියෙකුට එහෙම කරන්න බෑ. වැඩ කරත් නැතත් ඌට කන්න දෙන්න ඕන.

     ඊළඟ දේ තමයි ඇයි අලින්ව ගමන් බිමන් සඳහා යොදා ගන්න බැරි. ගතවන කාලය වැඩිවීම තමයි ලොකුම ගැටළුව. මොකද කිව්වොත් දැන් මිනිස්සුත් යන්ත්‍ර වගේ. කාලයට වඩා ඉක්මනින් දුවන්න හදන්නෙ. ඊට අමතරව හොයාගෙන තියෙනවා අලින්ව වැඩිය ඇවිද්දවන්න හොඳ නෑ කියලා. උන්ට කකුල් වල ආබාධයක් ඇතිවෙනවලු. ඒකනෙ දැන් පෙරහැරවල් වලට දුර පළාත් වලින් අලි ගෙන්නන කොට උන්ව වෙන වාහනයක ප්‍රවාහනය කරන්නෙ. ඒ නිසා එතනත් පොඩි කොස්සක් :(

     දැන් කාලෙ අලින්ට මොන යුද්ධද? එකක් තමා දැන් අපේ රටේ යුද්ධයක් නෑ. තිබ්බත් අලින්ව ප්‍රයෝජනයට ගන්න බෑ. ඔටුනු පලන් රජවරුන්ගෙ කාලවලදි ගජ නායක නිළමෙලා ප්‍රායෝගික උනාට නූතන පාර්ලිමේන්තු රජවරුන්ට ඒවා හරියන් නෑ. හැබැයි එහෙම තිබ්බනම් යුධ අවි ආයුධ වලට අලි වෙඩි, හක්ක පටස් ආදී නමුත් එකතු වෙයි. :D

     එහෙම බලාගෙන යන කොට පෙරහැර වලට තමයි අලින්ගෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය තියෙන්නේ. ඊට අමතරව සත්තු වත්තෙ කූඩු කරල තියන්න පුළුවන්, ගහ කොළ තියෙන කැළේකට යන්න වෙලාවක් නැතුව කොන්ක්‍රීට් කැළයවල් වල අතරමං වෙලා ඉන්න අපේ සමහර උදවියට පෙන්නන්න. හැබැයි එහෙම ලබන සතුටෙ අවසානය කොතැනකද කියන එක තමා ප්‍රශ්නේ. මොකද දන්නවද මම එහෙම කිව්වේ? චීනයේ දැන් නිපදවලා තියෙනවා කෘතීම බෝනික්කෙක්. ඇත්තටම ඒක රොබෝවකින් වෙනස් වෙන්නෙ අපිට අවශ්‍ය විදියෙට වැඩ කරල දෙන්නැති නිසා. ඒ බෝනික්කගෙ මූලික අරමුණ මිනිසාට සරාගී වින්දනයක් ලබා දෙන්න. ඒ කියන්නෙ ඒ බෝනික්කගෙ එක එක තැන ස්පර්ශ කරාම එක එක විදියෙ මනුෂ්‍ය ශබ්ද නිකුත් කරනවා. ඒ ගැන වැඩි දුර ඕනනම් අන්තර්ජාලයෙන් හොයා ගන්න. මම මේ කියන්න හැදුවේ අපේ රස වින්දනය ඒ තරම් පහල මට්ටමකට වැටෙන්න හොඳ නෑ කියන එකයි. ස්වභාවධර්මයෙන් ලබන සතුට තරම් වෙන සතුටක් නම් ඉතින් හිතා ගන්න අමාරුයි. තාක්ෂණික නිර්මාණයක් වශයෙන් ඒ බෝනික්කට ඉහළ තැනක් දෙන්න පුළුවන් වුනත් මටනම් හිතෙන්නෑ ඒක හොඳ සෞන්දර්‍යාත්මක නිර්මාණයක් කියල.

     ආයිත් අපේ මාතෘකාවට එමුකෝ. මටත් කියන්න දෙයක් හම්බ උනාම අදාළද නැද්ද කියල හොයල බලන්නෑ ඔහේ කියල දානවා. මොකද මං හිතන්නේ අදහස් කියන දේවල් ඔහේ ගලාගෙන එන්න ඕන කියලා. හරි එහෙනම් ඔය ගොල්ලන්ට හිතෙන අදහස් මොනාද අලියගෙන් කර ගන්න පුලුවන් වැඩ හැටියට? මම කියන්නම් මම අහල තියෙන තව දෙයක්. අලින්ගෙ අසූචිවල ( තේරෙන සිංහලෙන් කිව්වොත් අලි බෙටිවල ) තියෙන කෙඳි ප්‍රමාණය බහුලයිලු. ඇයි එහෙනම් අපේ කෙඳි ආශ්‍රිත නිශ්පාදන වලට ඒවා යොදා ගන්න බැරි.

     ඊට අමතරව සංචාරකයි වනාන්තර තුල ඇවිද්ද වීමට අලින්ව යොදා ගන්න බැරි ඇයි? ඒක ඉන්දියාවෙනම් සිද්දවෙන දෙයක්. කිසිම අපහසුවක් නැතුව පස් හය දෙනෙකුට අලියා පිට උඩ යන්න පුළුවන්. අවශ්‍යවෙන්නෙ නියමාකාරයෙන් සැකසූ අසුන් කිහිපයක් විතරයි. වනාන්තරයෙ සුන්දරත්වය බලන්න එන අයට ගාලු පාරේ තමන්ගෙ වාහනය පදවාගෙන යනතරම් හදිස්සියක් නැති නිසා ඒක නම් හොඳ උපායක් කියලයි මම නම් හොතන්නෙ. අලියට කෑම කැළෙන්ම හොයාගන්න පුළුවන්, ඕන කරන එකම දෙය අලියව හීලෑ කර ගැනීම විතරයි.


     අපේ රටේ මිනිස්සු කියන්නේ ලංකාවෙ අලි ජනගහනය දැන් වැඩිවෙලාලු. වර්ථමානයේ ලංකාව තුල අලින් 6000කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. ඇත්තටම වෙලාතියෙන්නෙ නම්, මිනිස්සු අලින්ගෙ වාසස්ථාන තමන්ගෙ කරගන්න යෑමක්. ලිපිය දිග වැඩිවෙන නිසා ඔය ගොල්ලන්ට නිර්මාණාමකව හිතන්න යමක් දීලා මම නවතින්නම්. පහළ පින්තූරයේ තියෙන්නෙ ඔස්ට්‍රේලියාවෙ වැඩිවන කැන්ගරු ජනගහනය සඳහා ගත්ත පිළියමක්.


     හොදට බලලා ඔයගොල්ලන්ට ඒක ගැන හිතෙන දේ සහ ලංකාවෙ අලින්ගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනයක් එහෙම තියෙනවනම් මේ ලිපියට පිළිතුරක් ලෙස ලියල යන්න. ඔය ගොල්ලන්ට ගොඩක් පිං. ඔය ගොල්ලන්ගෙ අදහසක් සමහරවිට අනාගතයෙ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් වෙන්න බැරි නෑ. ආ... මට මගේ උත්තරේ කියන්න බැරි උනානෙ. මොන කෙංගෙඩිය උනත් මමනම් හිත්න්නෙ අලියා කියන්නෙ අනිවා ප්‍රයෝජනවත් සත්වයෙක්. සමහරවිට ඒ මිනිසාට උදවුකරන්න නෙමේ වෙන්න පුළුවන්, ඒත්... මටනම් ඌ අපිත් එක්කම ජීවත් වියයුතු සතෙක්. එච්චරයි. එහෙනම් මම ගිහින් එන්නම්. :)

Friday, October 15, 2010

අලි-මිනිස් ගැටුමේ ආරම්භය

     ඉතින් කොහොමද? මෙච්චර ඉක්මනට ආයි ඔයාලව හම්බවෙයි කියල නම් හීනෙකින්වත් හිතුවෙ නෑ. මුලින්ම කියන්න ඕන, මගේ කලින් ලිපියට ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහොමත්ම ස්තුතියි. මගෙ යාළුවො කලින් ලිපියට මට දක්වපු ප්‍රතිචාර එක්ක මම හිතුවා තව ටිකක් මේක ගැන ලියන්න ඕන කියලා. ඇත්තටම හැමෝම මට කිව්වෙ "උඹට සිරාවට මේක ගැන හොයන්න ඕනනම් මේකෙ මුල හොයන් ඉඳපං" කියලා. ඇත්තටම මම ඒවෙනකොටත් ටිකක් දුර හොයල තමයි තිබ්බෙ. ඇත්තටම "මම" කියනවටත් වැඩිය මම කැමති "අපි" කියල කියන්න. මොකද තරිඳු කියල මගෙ තව යාළුවෙකුත් මේකට දැන් සම්බන්ධවෙලා ඉන්නවා. හැබැයි මිනිහා මට කවද කියාවිද දන්නෑ " මචං උඹටනම් පිස්සු, ඩිග්රිය කරගෙන ආතල් එකේ සල්ලි හම්බ කරගෙන ඉන්නැතුව මේ මොනවද කරන්නෙ?" කියල යන්න යාවිද දන්නෑ. ;)

     කොහොම උනත් අද මම ඔයගොල්ලන්ට කියන්න ගත්තෙ අලි-මිනිස් ගැටුම ආරම්භ උනහැටි. හැබැයි අළුත් දෙයක් නම් නෙමේ වෙනසකට තියෙන්නෙ කවුරුත් කතාකරල නැති එක විතරයි. ඔයගොල්ලො හිතන හැටියට මේක පටන් ගත්තෙ කවද විතර වෙන්න ඇතිද? එක එක් කෙනා එක එක අවුරුදු කියයි. මටනම් වැටහුන විදියට මේක පටන් ගත්තෙ මිනිසා ගොවි යුගය ආරම්භ කරපු දවසෙ ඉඳන්. ඇයි මම එහෙම කියන්නෙ කියල ඔය ගොල්ලන්ට පැහැදිලි වෙයි ඉතුරුටික කියව ගෙන යනකොට. ගොවි යුගයට කලින් ගල් යුගය සහ එඬේර යුගය කියල යුග දෙකකුත් තිබුන නේ. ඇයි ඒකාලෙ අලි හිටියෙ නැද්ද? හිටිය, හැබැයි ඒ කාලවල අලි සහ මිනිසුන්ගෙ සහජීවනය හොදට තිබුනා. ගොවි යුගය ආවත් එක්කම මිනිහා බැලුවා එක තැන ඉඳගෙන තමන්ට අවශ්‍ය පෝශ්‍යදායී ආහාර ටික වගාකරගන්න. ඔන්න එතකොට අලියාට තේරුනා කැළේ අමාරුවෙන් හොයාගන්න කෑම වලට වඩා මිනිහ වගාකරන ආහාර රසෙන් සහ ගුණයෙන් වැඩි බව. ඒ නිසා අලියා බැලුවා පුළුවන් හැමවෙලාවෙම ගොවියගෙ වගාව කාල දාන්න.

     ඇත්තටම කිව්වොත් අලියයි මිනිහයි අතර තියෙන සමානකම් ඉතාමත් වැඩියි. අලියගෙ ආයු කාලය මිනිසාගේ ආයු කාලයට බොහෝදුරට සමානයි. අලිය කන්න කැමති කෑමයි ගමේ මනුස්සය කන්න කැමති කෑමයි බොහොමත්ම සමානයි. මිනිහා කැමති තමන්ට අවශ්‍ය දේවල් ඉතා පහසුවෙන් ලැබෙනවනම්, අලියත් එහෙමයි. හරියටම කිව්වොත් ගමේ ගොවියාගෙ වගා බිම කියන්නෙ හරියට අපිට තියෙන සුපර් මාකට් එකක් වගේ. අපි කැමතිද සේරම බඩු එකම තැනින් ගන්න පුළුවන් කම තියෙද්දිත් කඩවල් තුන හතරක රස්තියාදුවෙලා වැඩි ගානක් දීලා තත්වයෙන් අඩු බඩු ටිකක් අරගෙන ගෙදර යන්න. නෑ නේ. ඒවගේම තමයි අලියත්. ඌත් කැමති ගොවියගේ වගා බිමට ගිහින් මුංද, තලද, මෙනේරිද, කෙසෙල්ද, කොස්ද ඔය කියන සේරම දේවල් කාලා ඇගේ පතේ හිරි ඇරගන්න ඔය පැත්තක තියෙන ගහක් දෙකකුත් කඩල දාල ඒත් මදිවගේ දැනුනොත් ගොවියගෙ ගේටත් පොඩි තට්ටුවක් දාගෙන එන්න. ඒ විතරක් නෙමේ තව සමාන කම් ගොඩක් තියෙනවා. තව හිත් ඇද ගන්න සමානකමක් තමයි තමන්ගෙ ප්‍රදේශයට ඇතුල්වෙන අය තෝර ගන්න විදිය. ඇත්තටම කිව්වොත් මේක පිරිමි සතාගෙ වැඩක්. පිරිමි අලියා නොයෙක් උපක්‍රම යොදනවා අනිත් අලින් අභිබවා තමන් ඉහළයි කියල පෙන්නන්න. උන් කරන වැව තමා, හැකි උපරිම උසින් ගසක අත්තක් කඩා ගෙන කාල තව ටික දවසකින් ඇවිත් ඊට උඩින් වෙන අලියෙක් වෙන අත්තක් කඩා ගෙන කාලද කියල බලන එක. ඇතෙක් නම් කරන්නේ තම ඇත් දත් පහරකින් විශාල ගසක සිදුරක් හදල අර වගෙම ටික දවසකින් ඇවිත් වෙන ඇතෙක් ඊට උඩින් සළකුණක් දාල තිබ්බොත් පරණ එකා මාරු වෙලා යනවා. ඔයවගෙ එක එක ආතල් වැඩ තියෙනවා උන්ගෙ ලෝකෙත්. මට කියන්න ගියපු එකත් අමතක උනානෙ. කොහොමහරි පිරිමි අලියා තම ප්‍රදේශෙට ඇතුල්වෙන්න දෙන්නෙ ගැහැණු අලින්ට විතරයි. ගැහැණියෙක් නම් කිසිම බාදාවක් නෑ පිරිමියෙක් නම් ඔන්න සද්ද බද්ද ගොඩයි. අපි වගේම තමයි. ;)

     ඔන්න ඔහොමයි අලි-මිනිස් ගැටුම ආරම්භ උනේ. කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් දැන් අලින්ටයි මිනිසුන්ටයි සහ ජීවනයෙන් ඉන්න බැරිද කියලා. ඔන්න එතකොට තමයි සිංහල පාඩමක් ගෙන හැර දක්වන්න වෙන්නේ. මම "සහජීවනය" කියන වචනෙ කලිනුත් පාවිච්චි කරපු නිසා මම ඒ වචනෙ ගැනත් පොඩ්ඩක් විතර මම දැන ගත්ත විදියට පැහැදිලි කරල දෙන්නම්. සහජීවනයේදී අදාල පාර්ශව සියල්ලම එකිනෙකාගෙන් වාසි අයත් කරගන්න ඕන. තවදුරටත් සරල කරල අපේ උදාහරණයත් එක්කම ගලපළ කිව්වොත් අලියා මිනිසාගෙන් කෑම ලබාගන්නව වගේම මිනිසාටත් වැඩකට ඇති වැඩක් කරල දෙන්න ඕන. ප්‍රශ්නෙ එන්නෙ අන්න එතනදි. දැන් කාලෙ අපිට අලින්ගෙන් ගන්න පුළුවන් වැඩ මොනාද? වැඩ නම් තියෙනවා ඒත් ඒව කරගන්න පහසු වෙනත් ක්‍රමත් දැන්තියෙනවා. ඒ ඇරෙන්න නූතනයේ අලියගෙන් කරගන්න එකම වැඩේ පෙරහැරට සහභාගි කරවා ගැනීම විතරයි. ඇත්තටම අපිට අලින්ගෙන් වෙන මුකුත් කරගන්න බැරිද?

     ඒ ගැන මම වෙන දවසක කථා කරන්නම්. ඔය ගොල්ලන්ට කලිනුත් කියල තියෙනව වගෙ මේක මාර ආතල් විශයක් අධ්‍යනය කරනවනම්. හැබැයි මධ්‍යස්ථව හිතන්න ඕන. වෙලාවකට අලියෙක් වෙන්න ඕන තව වෙලාවකට ගොවියෙක් වෙන්න ඕන. හැබයි අන්තිමට මේ ලිපියට වචනෙකින් හරි ප්‍රතිචාරයක් දාල යන්න අමතක කරන්න එපා. :) බොහොමත්ම ස්තුතියි කිව්ව එහෙනම් ඕං.

Monday, October 11, 2010

අලි-මිනිස් ගැටුම ලංකාවට ප්‍රශ්නයක්ද?

     මේ ලිපිය නම් මම මෙච්චර කල් ලියපු ලිපි හැමඑකකටම වඩා වෙනස් විදියෙ එකක්. මුලින්ම මම මගේ මාතෘකාව පැහැදිළි කරන්නම් කෝ. මොකද ඒක කියවපු ගමන් සමහරුන්ට හිතෙන්න බැරි නෑ මේක දේශපාලන ලිපියක්ද කියලත්. අපෝ එහෙම එකක් නම් නෙමේ. මේක ඇත්තටම කකුල් හතරෙ අලි ගැන සහ කකුල් දෙක පොළවෙ ගහල ජීවත්වෙන අපි ඔයාල වගේ මිනිසුන් ගැන කියවෙන වෙනමම විදියෙ කථාවක්.

     ඇත්තටම මොකක්ද මේ අලි-මිනිස් ගැටුම කියල කියන්නෙ. මේක නිකං ලංකාවෙ හමුදාවයි ත්‍රස්තවාදීනුයි අතර තිබ්බවගෙ යුද්ධයක් නම් නෙමේ. මේකෙන් වැඩි හරියක් මිය යන්නෙ තම අයිතිවාසිකම් වෙනුවෙන් බෝඩ් උස්සගෙන ලිෆ්ටන් වට රවුමෙ කෑ කෝ ගහන්න බැරි, තම ජීවිතය වෙනුවෙන් තුවක්කවක් අතට ගන්න බැරි අහිංසක කැළෑ අලි පිරිසක් සහ අන්ත අසරණ හේන් ගොවියන් කිහිප දෙනෙක් විතරයි. මම "විතරයි" කියල කියන වචනෙ පාවිච්චිකරේ හොදට හිතලම තමයි. ඔයගොල්ලන්ට මතකද දන්නෑ, අපිට කාලයක් තිබුනා බෝම්බයක් පිපුරුණා කියල කිව්වම බොහොම තැති අරගෙන පණ බේරගන්න දුවපු කාලයක්. පස්සෙ ඒක මෙන්න මේවිදියට වෙනස් උනා. ඒ කොහොමද කියල කිව්වොත් බෝම්බයක් පිපුරුණා කියල ඇහුනම අපේ "ශ්‍රී" මුඛයට නිතැතින්ම එන්නෙ "කීදෙනෙක් මැරිලද" කියන වචන ටික විතරයි. කිසිම ගානක් නෑ. තව දුරටත් කිව්වොත් මැරුණුගාන අහල "ආ එහෙමද" කියල කියපු පිරිසකුත් හිටියෙ නැත්තෙමත් නෑ. එහෙව් එකේ වසරකට ලංකාව තුල වනාන්තර අලි ජනගහනයෙන් 290ක් විතර මිනිස් වෙඩි පහරින් මැරුම් කනව කිව්වහම කවුරුහරි කිව්වොත් "අයියෝ ඕකත් ප්‍රශ්නයක්ද" කියලා මම පුදුම වෙන්නෙත් නෑ. ඊට අමතරව ගිය වසරෙ අලි ප්‍රහාර වලින් මිය ගියපු මිනිසුන් ගණන 50ක්. මේ දත්ත වන සංරක්ෂන අධිකාරියෙන් ගත්ත සැබෑ දත්ත. නගරබඳ අපේ අයටනම් සමහර විට මේවා මැජික් වගේ වෙන්නත් පුළුවන්. මොකද ඒගොල්ලො හැබැහින් අලියෙක් දකින්නෙ සත්තු වත්තට ගියොත් විතරයිනෙ.




     ඔන්න මිනිස්සු කිහිප දෙනෙකුත් මැරෙනව කිව්වම සමහරුන්ටනම් හිතෙයි මේකනම් පොඩි ගැටළුවක් තමයි කියල. හැබයි ඒකට උත්තරේ ඉන්න අලිටික මරල දාන එකද? ආ... මට තව ටිකකින් අමතක වෙනවානේ. අලි මැරෙන කොට කෑගහන පිරිසකුත් ඉන්නවා. අර දේශප්‍රේමියෝ වගේ කොටසක් ඉන්නෙ "සත්ව ප්‍රේමියො" කියල, සත්ව අවිහිංසාව ගැන මහ ලොකුවට කථා කරන පිරිසක්. ඒ ගොල්ලන්ටත් කෑගහන්න මතක් වෙන්නෙ තමන්ගෙ මල්ල පිරෙනවනම් විතරයි. එහෙමත් නැත්නම් කාගෙ හරි කත් ඇදීමකට පොඩි වාසියක් තකා ඕං කෑ ගහවි. මං එහෙම කියන්නෙ දසදහස් ගනනින් කුකුල්ලු, එළුවො, හරක් මරන රටේ උන්ව බේර ගන්න කථා කරන්න කෙනෙක් නැති නිසා. සමහරවිට උන් "සත්තු" කියන ජාතියට වැටෙන්නෑ කියල අළුත් සංශෝදනයක එහෙම දාල තියෙනවද දන්නෑ. :(

     ඔන්න ඉතින් මං මට පුළුවන් හැටියට තේරුම් කරන්න උත්සහ ගත්තා මේ ප්‍රශ්නය ගැන. තේරුනා මදි වගේ නම් පොඩ්ඩක් හොයල බලන්න වඳවීගෙන යන ක්ෂීරපායි සතුන්ගෙ නම් ටික හොයාගෙන. ඒවගේම ලෝකයේ අලි විශේෂ කීයක් ඉන්නවද? ස්වභාවිකව අලින් ජීවත් වෙන රටවල් මොනවද? ලෝකයම ගත්තම ලංකාවෙ අලියට හිමිවෙන්නෙ මොනවගේ තැනක්ද කියන ඒවා.

     ලිපිය වැඩිය දික් කරන්න මං කැමති නෑ. මේ ගැන කියන්න නම් දේවල් බොහොමයි. ඒ ගැන මං ටිකෙන් ටික කියන්නම්. ඒත් අදට ඇති. ඕයගොල්ලො මේක කියෙව්වනම් පොඩි ප්‍රතිචාරයක් දාල යන්න. මොකද ඇත්තටම මට දැන ගන්න ඕන මේක ඇත්තටම ප්‍රශ්නයක්ද නැත්නම් මට කොහෙහරි වැරදිලාද කියලා. ඔන්න එහෙනම් ආයෙත් කිව්වා බොහොමත්ම ස්තුතියි මේ වෙනුවෙන් ඔයාලගෙ වටිනා කාලය වැයකලාට. :)

Monday, October 4, 2010

සිරාම " විභාගය "

     මං මේක ලියන්න ගත්තෙ පොඩි බාගත කිරීමක් ඉවර වෙනකම් කරන්න දෙයක් නැති නිසා. ඇත්තටම මේ ලිපිය ලියනව කියල හිතුවෙ ඊයෙ රෑ. විශේෂත්වය තමයි කාලෙකට පස්සෙ සිරා චිත්‍රපටියක් බලන්න ලැබුනා. මේ ඒක ගැන පොඩි සටහනක්. මං මෙහෙම කියන්නම්කෝ. මුලු චිත්‍රපටියටම ඉන්නෙ නළුවො හයයි නිළියො හතරයි. මුලු ච්ත්‍රපටියම රූගත කරල තියෙන්නෙ එකම එක කාමරයක් ඇතුලෙ. කාමරයක් කිව්වට මේක ටිකක් අමුතු විදියෙ විභාග ශාලාවක්.

     ආ... අමතක උනානෙ කියන්න. මේක ඉංග්‍රීසි චිත්‍රපටියක්, නම තමයි "EXAM". ඇත්තටම මේකෙ තියෙන්නෙ කට්ටියක් පරීක්ෂණයකට මුහුන දෙන විදියක් ගැන. මම දැනට කියපු විස්තර ටික අනුව ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? මහ කම්මැලි චිත්‍රපටියක් කියලද? ඇත්තටම කිව්වොත් මට මතක නෑ මේක අතර තුර මම වෙන මොනදෙයක් ගැනහරි හිත යොදවපු වෙලාවක්. ඒතරම් මේක මාර කුතුහලයක් දෙන චිත්‍රපටියක්.


     මේකෙ කථාව චුට්ටිත්තක් විතර කිව්වොත්... කට්ටියක් එක ආයතනයකට එකතුවෙන්න පරීක්ෂන කිහිපයකට ඉන්නවා. මේක තමයි අන්තිම පරීක්ෂනය. තරඟ කරුවන් අටයි. අටයි කිව්වට අටක්ම නෑ. ඒක ඔයගොල්ලො බලපුවම තේරේවි. ප්‍රශන පත්තරේටම තියෙන්නෙ එක කොළයයි. ඒකෙත් මුල් පිටුවෙ අදාල අපේක්ෂකයගෙ අංකය. තියෙන්නෙ එක ප්‍රශ්නයයි ලු. ඒක තියෙන්නෙ අනික් පැත්තෙ කියල තමා කට්ටිය හිතන්නෙ. ඇත්තටම අනික් පැත්තෙ ප්‍රශ්නයක් තිබ්බද? තියෙන්න පුළුවන් එකම එක උත්තරයයි. ඒ උත්තරය මොකක්ද? අන්තිමට තෝරගන්නෙ එක්කෙනයි. කවුරු හරි උත්තරය හොයා ගනීවිද? මොනාටත් තියෙන්නෙ විනාඩි 80ක් විතරයි. ඒ කියන්නෙ පැය 1 විනාඩි 20යි. මුලු චිත්‍රපටියම දිග ඇරෙන්නෙත් පැය 1 විනාඩි 30කට ආසන්න කාලයක්.



     මේකෙ තියෙන විශේෂත්ව විදියට මම නම් දකින්නෙ, අඩු සම්පත් ප්‍රමාණයකින් මේතරම් හොඳ චිත්‍රපටියක් නිපද වීමයි. ඊට අමතරව මේ ඉන්නෙ අපිමද කියල හිතෙන වෙලාවලුත් නැතුවම නෙමේ. මගේ බාගත කිරීම ඉවරවෙලත් ටිකක් වෙලා. ඒනිසා මේ හොඳටම ඇති. මම ගිහින් එන්නම්. එතකන් ඔයගොල්ලො චිත්‍රපටිය හොයාගෙන බලන්න :)