Wednesday, November 17, 2010

♥ දෙනුවන් පුදුම කරවූ පුදුමාතලන්...

     "අද හොදම දවස ඔබ එනවා නම්..." ඉතින් කොහොමද? අද උතුරුකරේ චාරිකාවේ දෙවන කොටස. යමුද මාත් එක්ක? අද ගමන් මාර්ගය නම් යාපනය, අච්චුවේලි, කුප්පිලාන්, දඹකොළ පටුන, නැවත යාපනය සහ ආපු මගේ පරන්තන් හන්දියට එනකම්, ධර්මපුරම්, පුදුකුඩුඉරිප්පු, පුදුමාතලන්, නන්දිකඩාල්, මුලතිව්, අලම්පිල්, නයාරු, පන්සල් කන්ද, ජනකපුර, වැලිඔය, පරාක්‍රමපුර, පදවිය, කැබිතිගොල්ලෑව, මැදවච්චිය හරහා අනුරපුර. මුලින්ම අපි පිටත් උනා දඹකොළ පටුන පැත්තට. බලන්න පුළුවන්නම් කන්කසන්තුරේ සිමැන්ති කම්හල අතර මඟදි හම්බ වෙනවා.

     ඒ පැත්තෙ තවම බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වෙනවා. අපේ අය මෙහේ ඉඳන් කෑගැහුවට, මොන මොන උපකරණ ගෙනාවත් බිම් බෝම්බ ඉවත් කරනවා කියන්නෙත් මාරාන්තික සටන් කළාවක් පුරුදුවෙනවා වගේ වැඩක්. අලි බඩකුයි ලොකු කටකුයි තියෙන සුදු ඇද ගත්තු, කුශන් පුටුවල කකුල් දෙක උඩදාගෙන වාඩිවෙල ඉන්න අපේ ඇතැම් දේශපාළුවොන්ට වැලි කැටයක තරම් වත් මොළයක් තියෙනවනම් එවන් මාතෘකා තම ඡන්දමල්ල තරකර ගැනීමේ අරමුණින් දේශපාලන වේදිකාවල කොකිය ඉඳීවි.

     දඹකොළ පටුනට යන අතර මග තියෙනවා ලස්සන අතීත කථාවක් තියෙන පොකුණක්. නමින් "කීරමලේ". පොකුණක් කිව්වට මම දැක්ක විදියටනම් මුහුදෙ වතුරම තමා ඒකෙ තියෙන්නෙත්. හැබැයි ඒ හා බැඳුන අතීත කථා නම් අහන් ඉන්න ආසයි. ඒ ළඟම තියෙනවා නැගුලේෂ්වරම් කෝවිල. පෙර පරිදිම තමා, පිරිමි කෙනෙක් ඇතුලට යනවනම් උඩුකයට උපන් ඇඳුම දාගන්න වෙනවා ;)

     ඉන්පස්සෙ අපි හෙමින් සැරේ සේන්දු උනා ප්‍රභාගේ ගෙදර තිබුනු පැත්තට. මේ පැත්තනම් දෙවැනි සුනාමිය වගේ. තියෙන ගස් වැඩිහරියක උඩ නෑ. මිනිස්සු අතහැරලා ගියපු බඩු මුට්ටු, යාන වාහන තොග පිටින්. කොහොම කොහොම හරි මහල් හතරකින් යුක්ත ප්‍රභාගෙ ගෙදරටත් ගියා. වෙනසකට තියෙන්නෙ මහල් තියෙන්නෙ පොළවෙන්‍ යටට. දොරවල් එහෙම හදල තියෙන්නෙ වෙඩි නොවදින විදියටලු. මිනිහගෙ ගෙදර වටේට කටු කම්බි වැටවල් හතක් තිබුනලු. එච්චර විතරක් නෙමේ, ගෙදර මුළු හතරෙ මුරකුටි හතරක් තියෙනවා. ඒවත් වෙඩි නොවදින විදියට යකඩ තහඩු ඇතුලට පස් පුරවලා හදල තියෙන්නේ. තව තියෙනවා ගෙදර වටේටම මුර බල්ලොන්ට ඉන්න තැන්. වාහනය නවත්තන්න හදල තියෙන තැනත් පොළවෙ යටට වෙන්න හදල තියෙන්නෙ.

    ගෙදර ඇතුලෙ විස්තර කියනවනම් පොඩි ළිදක් වගේ එකක් තියෙනවා ගේ ඇතුලෙ. ඒකෙ හරියටම ඇතුල බලාගන්න බැරිඋනා. කොහොමහරි යටම තට්ටුවට ගියාම උඩට එන්න වෙන උමං පඩි පෙළක් තියෙනවා. මතුවෙන්නෙ වෙන තැනකින්. ගෙදරට විදුලි ආලෝකය දෙන ජෙනරේටරයක් වෙනම තියෙනවා. ගෙදරට පැත්තකින් තියෙනවා පිස්තෝල පුහුණුවෙන්න තනපු වෙඩි පිටියක්. තව තිබ්බා මියගිය අය වලලන්න කලින් ආචාර දක්වන්න තියපු තැනක්. ඔන්න ඔහොමයි කොටිලන්තයේ සුපිරි කොටියා ජීවත් වෙලා තියෙන්නෙ :)

     දැන්‍ යමු අපි පුදුමාතලන් පස් බැම්ම බලන්න. ඒකෙ විස්තරේ මං කියනවට වැඩිය ඔය ගොල්ලන්ටම කියව ගන්න මං ගත්ත පින්තූරයක් දාන්නම්. ඒ පරිසරය දැක්කම තමයි හිතෙන්නෙ අපේ සෙබළු කොහොම සටන් කරන්න ඇත්ද කියලා. අපේ අයට කාන්තාරයක් තරණය කරන්න වගේ තියෙන්නේ. උන්ට කැළේ ඉඳන් සේරම ඉලක්ක කරන්න පුළුවන්. යුධ බිමේ හිටපු හැම සොල්දාදුවෙකුටම මෙන්න අපේ ආචාරය. ඒ ගොල්ලො නිසා තමයි අද අපි සැප පහසු පුටු වල වාඩිවෙලා ඉඳන් මේවගේ ලිපියක්වත් ලියන්නේ.

     L.T.T.E. එකේ මම දැකපු ආසම කරන ගුණාංගය විදහා දක්වන්න නියම සාක්ෂියක් තමා පහළ රූපයෙන් පේන්නෙ. ඒ අය සුදුස්සාට සුදුසු තැනත් දක්ෂයාට තම හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න අවස්ථාවකුත් දීපු නිසා තමයි සීමිත සම්පත් වලින් උනත් සබ්මැරීන් හදලා ඒවගේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කරල බලන්න පුළුවන් මේවගේ තැන් හදලා දීලා තියෙන්නේ. පරම හතුරගේ උනත් හොඳ දේට හොඳ කියන්න ඕනනේ.

     ඉන්පස්සෙ ගියා ත්‍රස්තවාදී තම නම ලෝකෙ පුරාම ප්‍රසිද්ධ කරගන්න අවසාන කාලෙදි කරගත්තු ලොකුම හපන්කම හෙවත් තවත් පජාත වැඩක නටඹුන් බලන්න. පහළ ඔය ගොල්ලන්ට පේන්නෙ ෆාරා 3 නැව. සේරම පිංතූර මේ ලිපියෙ දාන්න බෑනේ. දාන්න පුළුවන් ඒවලින් ටිකක් මෙතනයි අනිත් ටික මගේ මුහුණු පොතෙයි උඩුගත කරනවා. පක්ෂපාත මොබිටෙල් අන්තර්ජාල පාරිභෝගිකයකු වීමේ සතුට වෙනුවෙන් ඒ උත්තමයලා මට දීලා තියෙන කළාප පලලෙන් බොහොම අමාරුවෙන් දවසකට පිංතූර හය හතක් උඩුගත කරන්න පුළුවන්. අනේ මගේ කට... මොනා කරන්නද අදාළ බලධාරීන්ගෙ පරම්පරාවම මතක්කරල කට වහගෙන ඉන්න තමා තියෙන්නේ :(

     ඔන්න එහෙනම් අද ලිපියත් ඉවර කරන්න යන්නේ. ඊට කලින් ස්තුතිය පුදකරන්න කෙනෙක් ඉන්නවා. මම කලින් ලිපියන් කිව්වා වගේ මාව මේතැන් බලන්න එක්ක ගෙන ගියාට මස්සිනා මහත්තයගේ අයියට ස්තුතිවන්ත වෙන්න ඕන. ඔහු ගැන වැඩිය මුකුත් කියන්න දන්නැති උනාට කථාකරපු දවස් දෙක තුනට හිතුනෙ, තනතුරු සහ බලයෙන් ඔලුව උදුම්මා ගත්තෙ නැති යුධ හමුදා නිලධාරියෙක් කියල තමා.

    මේක බලපු අය ගල්, මුල්, මල් ඕන දෙයක් දාලා යන්න. මං ඒ හැම එක්කටම කැමතියි. ගිහින් එන්නම් :)

Monday, November 8, 2010

♠ එන්න යන්න මාත් එක්ක උතුරුකරයට...

     ඇත්තටම මේක කොහෙන් පටන්ගන්නද කියල හිතාගන්න බෑ. ලියන්න දේවල් නැතුවා නෙමේ, තියෙන දේවල් ලියන්න ගියොත් කීදෙනෙක් අමාරුවේ වැටෙයිද දන්නෑ. අනික තමා අදහසක් එළියට දාද්දි නොයෙක් සීමාවන් තියෙන කොට අපිට ඒක ඕන විදියට කියාගන්න බැරිවෙනවා. ඒවගේම නිර්මාණාත්මක බවට නම් ලොකු අවුලක්. කොහොම කොහොම හරි කාවවත් අමාරුවේ නොවැටෙන විදියට සහ කවුරුත් තරහ නොවෙන විදියට මේ ලිපිය ලියන්නම ඕන කියල මං හිතා ගත්තා. මොකද මම මෙහෙම ලිපියක් ලියනවා කියල හිතුවේ මේ චාරිකාව යන්නත් කලින්.

     ආ... මට කියන්න අමතක උනානේ. අදනම් "අලි" ගැන නෙමේ කතාව. මේ මගේ ප්‍රියතම විනෝදාංශය සම්බන්ධව ලියවෙන ලිපිවලින් එකක්. මං ගැන දන්න අයනම් දැනටමත් අනුමාන කරල ඇති මූටනම් කොහේහරි චාරිකාවක් යන්න සෙට් වෙලා තමා කියලා. හරියටම හරි. මම ගියා කොළඹ සිට අනුරාධපුර, වව්නියාව, ඔමන්තේ, කනගරායන්කුලම්, පුලියන්කුලම්, මාන්කුලම්, කිලිනොච්චි, පරන්තන්, අලිමංකඩ, අයියකච්චි, පලෛයි, මුහමාලේ, මිරිසුවිල්, චාවකච්චේරි, නාවන්කුලි, යාපනය, අරියාලෙයි තුඩුව, නාග දීපය. ඔය අද ලිපියට සම්බන්ධ ටික විතරයි. තව ගියා පුදුමාතලන් පැත්තෙත්. ඒ ටික ඊළඟ ලිපියේ :) මේකෙ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕන මගේ මස්සිනා මහත්තයගේ අයියට. එයාගෙ පවුලේ උදවිය වෙනුවෙන් ලෑස්තිකරල තිබ්බ ගමනක්. මස්සිනා මහත්තයගෙ පිහිටෙන් මාත් රිංගගත්තා. අම්මා නම් කලින් යාපනේ ගිහින් තිබුනා. අක්කටයි මස්සිනා මහත්තයටයි යන්න වෙනනෑ කිය කිය තමයි හිටියේ. ඒත් මගේ වදේටම පොඩි පහේ වර්ජනයක් දාපු නිසා පැය ගානක් තියෙද්දි හැමෝම ලේස්ති උනා.

     පුදපු ගමන් කාපි යකා කියල ගමන පටන් ගද්දිම පොඩි අවුලක්. මම කොළඹ ඉඳන්නෙ ගියේ. නගරාන්තර දුම්රිය තියෙන්නෙ හවස 4.20. මට ඉස්සරහ තව පස් දෙනෙක් විතර පෝළිමේ ඉඳිද්දි ප්‍රවේශපත්‍ර නිකුත් කරන එක නැවැත්තුවා. ඊට පස්සෙ සිද්ද උන දේවල් ගැන මං කියන්නෑ, මොකද මං අර මුලින් කියපු හේතුව නිසා. කොහොම හරි අන්තිමට රුපියල් 10කින් නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ දෙවන පංතියේ මැදිරියක සැප පහසු ලෙස වාඩිවෙලා ගමනාන්තයට ගියා. එහෙම ගියේ නැත්තං මට මේ ගමන යන්න වෙන්නෑ. මොකද කට්ටිය උදේ පාන්දර යන්න ලේස්තිවෙලා තියෙන්නේ.

     ඔන්න ඉතින් පැය දෙකක් විතර නිදාගෙන කොහොම හරි ගමන ආරම්භ කරා. වව්නියාවට යනකම් පාරනම් එල. කාපට්නුත් කරල ඒ මදිවට කිලෝ මීටර ගානක් ඇතට යනකම් පේන විදියන පාර කෙලින් තියෙන්නේ.

     හ්ම්ම්.... මම බැලුවේ සම්පූර්ණ විස්තර කියන්නැතුව මම දැකපු සහ බැලිය යුතුයි කියල මම හිතන තැන් ගැන විතරක් ලියන්න කියලා. මුල්ම තැන තමයි හසලක ගාමිණී විරුවා ත්‍රස්ත යුධ ටැංකිය විනාශ කර ගත්ත තැන. තියෙන්නෙ නම් අලිමංකඩ.

     ඊළඟට හිත ගත්තු තැන තමා නාග දීපය. යාපනය කොටුව හරියේ ඉඳලා මුහුද මැදට පාරක් තියෙනවා. ඒකෙ ගිහින් පස්සෙ ආයි බෝට්ටුවක නැගල දූපතට යන්න ඕන. බෝට්ටුවේ එක මඟියෙකුගෙන් රුපියල් 20ක් ගන්නවා. තව ටික දවසකින් බෝට්ටු වලටත් ටිකට් පොතක් දෙන්න වෙයි. මොකද රුපියල් 20 දෙන්නැතුව යන අයත් ඉන්නවනේ.

     ඊට පස්සෙ පුළුවන්නම් නල්ලූර් කෝවිලටත් යන්න. ආගම මොකක් උනත් බලන්න දේවල් නම් එමටයි. මම නම් සෙට් උනේ හරියටම පූජාවක් තියෙන වෙලාවක. ඒනිසා මරේ මරු. පිරිමි අය ඇතුලට යනකොට උඩුකය නිර්වස්ත්‍රව තමා යන්න ඕන. ඒකෙ ඇතුලෙ මාර ලස්සනයි. කැටයම්ද, බිතු සිතුවම්ද, ආලෝක බුබුලද, යාතිකාද හැම දෙයක්ම තියෙනවා. තිබ්බ ලොකුම අඩුපාඩුව තමයි ඒවා තේරුම් කරල දෙන්න කෙනෙක් හිටියෙ නැති එක.

     ඔන්න ඉතින් එදා රෑ කාලා බීලා බොහොම අමාරුවෙන් තැනක් හොයාගෙන නිදා ගත්තා. කෑවා කිව්වම මතක් උනේ. අපි නම් රෑ කෑමට බත් හොයා ගත්තා. මොකද දවල්ටත් හරියට කාලා හිටියෙ නැති නිසා. "හොයාගත්තා" කියල කිව්වෙ ඇත්තටම හොයන්න උනා. මොකද ඒ පැත්තෙ අය රෑට කන්නෙ තෝසේ, රොටි වගේ දේවල්.

     අදට ඇතිනේද? ඔව් මම දන්නවා, ගමනේ බාගයයිනෙ මං ඔයගොල්ලොත් එක්ක ගියේ. ඉතුරුටික යං ඊළඟ ලිපියෙන්. හැමදාම වගේ කියන්න තියෙන්නෙ, වැඩිපුර පින්තූර බලන්න ඕන අය මගේ "මුහුණු පොතට" ගොඩ වෙන්න.