Monday, May 16, 2011

෴ මම ගියා අවුකන බුදුන්ටත් දැස්දුන් මිනිසා සොයා...


"මේතරම් සියුමැලිද කළු ගල
හිතන්නටවත් බැරි නිසා...
මම ගියා අවුකන බුදුන්ටත්
දැස්දුන් මිනිසා සොයා..."


     සුනිල් එදිරිසිංහයන් ගායනා කරන තවත් අපූරු ගීතයක්. පද එකමුතුව කාගේද යන්න නොදන්නවා නමුත් ඔහුට හිමිවන ගෞරයවද දෙවනි නොවන බව සිහිකල යුතුය. බය වෙන්න එපා, මම අද ගීතයක් විවේචනය කරන්න නෙමේ හදන්නෙ. අවුකන බුදුන්ට දෑස් දුන් මිනිසා අප අතර නොමැතිමුත් ඔහු කළ ඒ අපූර්වතම නිර්මානය තවම අපි අතර පවතී. මම අද යන්නෙ ඒ අපූර්ව නිර්මානය බලන්න සහ එහි අපූර්වත්වය ගැන මං ඉගෙන ගත් දෑ ඔය ගොල්ලොත් එක්ක බෙදා ගන්න.


     හැමදාම වගේ මම ගිය මාර්ගය ගැන පොඩි සඳහනක් කරන්න අමතක කරන්නෙ නෑ. මේකත් කලින් ලිපියට සම්බන්ධයි. එතකොට මට කියන්න වෙන්නෙ නාමල් උයන ළඟ ඉදන් ගියපු හැටිතමා. අතර මගදි හම්බවෙන ප්‍රධාන නගරයක් තමා ආඬියාගල. එතනින් අවුකනට, එච්චරයි. ඔයපාරෙ ආපහු එන්නැතුව කෙළින්ම අනුරාධපුරයට යන්න පුළුවන්. ඔන්න ඒ මාර්ගය කියනවනම් කළා වැව - විජිතපුර - ඉහළ ගම හන්දිය - තෝනි ගල - මරදන්කඩවල - ගල්කුලම - නාච්චාදූව - අනුරාධපුර.


     මුලින්ම අපි පොඩ්ඩක් පුරාණ කතාව දැන ගෙන ඉමුද? මේ බුදු පිළිමය ක්‍රි.ව. 5වන සියවසේ (බු.ව. 1600), ඒ කියන්නේ ධාතුසේන රජතුමාගෙ පාලන කාලයේ ඉදිකරවන ලද්දක් ලෙස සැලකෙනවා. සාහිත්‍යම පැත්තෙන් කියනවනම්, මෙම හිටි පිළිමය අමරාවතී සම්ප්‍රදායට අයත්වන බවත් අභය මුද්‍රාවෙන් වැඩවාසය කරන ආකාරය නිරූපනය වන බවත් පැවසෙනවා. පිළිමයේ උස අඩි 43ක් ලු. මේක ඇත්තටම ඉදි කරල තියෙන්නෙ අභය කියන ගල්වඩුව ලු. මේ ස්ථානය හා සබැඳි තවත් පුරාණ කතාවක් තමයි, මහාවංශය රචිත මහානාම හිමි, මෙම ස්ථානයේ වැඩවාසය කරල තියෙනව කියන කතාව. තව එක දෙයක් තියෙනව කියන්න. ඒතමයි අවුකන කියන නම විකාශය උන ආකාරය. පබ්බතකෝණ, පර්වත කොන, පහුරු කොන, පවුකොන අන්තිමට අවුකන නමින් ව්‍යවහාර වෙලා තියෙනවා.


     මම මුලින් සඳහන් කර විදියට මේ පිළිමයේ තියෙන නිර්මාණාත්මක අතින් සුවිශේෂීවන කාරණයක් කියන්න තමයි දැන් මං හදන්නෙ. පොද වැස්සක් මේ පිළිමයට පතිතවන වෙලාවට පිළිමයේ හිසමතට ඉදිරිපසින් වැටෙන වැහි බිදු එහි නාස් කොනින් දෙපා අසලට වැටෙන්නෙ පිළිමයේ ශරීරයේ කිසිම තැනක ස්පර්ශ නොවීලු. මම "ලු" ප්‍රත්‍යයෙන් කතා කරන්නෙ අදාල සිද්දිය දෑසින් නොදැක්ක කමට මිසක් විශ්වාස නොකරන නිසා එහෙම නෙමෙයි. ඇත්තටම ඔය වැටෙන වැහි බිංදු, පිළිමයේ දෙපා අසල තියෙන පොඩි කැටයමක් මතට වැටෙන ආකාරයට තමයි හදල තියෙන්නෙ. පහත සේයා රුවෙන් මන් ග්‍රහණය කරගන්න උත්සහ කරේ ඔය කියන කැටයම. ඒත් ඔයගොල්ලන්ට කොයිතරම් දුරට ඒක පැහැදිලිව පෙනෙයිද නම් දන්නෙ නෑ. නිකම්ම ඉන්නවට වඩා උත්සහය වටිනවනේ, ඒකයි එහෙම ඡායා රූපයක් හරි එකතුකරේ. ඇත්තටම මෙහෙම කියල හරියන්නෙ නෑ. ඔයගොල්ලො ගියපු වෙලාවක පිළිමයේ පැත්තකින් ගිහින් බලන්න. එතකොට තේරේවි මම කලින් විස්තර කරපු විශේෂාංගයේ සුවිශේෂී බව.


     පිළිමයට අමතරව ඒ ස්ථානයේ තියෙන තවත් වැදගත් දේවල් ටිකක් තමයි අවුකන ගිරි ලිපිය, නාග භහිරව දේවාලය සහ ගලින් නිමවන ලද පැරණි භාණ්ඩ කිහිපයක්. ගිරි ලිපිය ගැන පොඩි විස්තරයක් කෙරුවොත්, මේකෙ අන්තර්ගතය හැටියට තියෙන්නෙ කළබහ කියන වැව සංඝයා වහන්සේලාට පූජා කරපු සිද්ධියක් ගැන. ලියල තියෙන අක්ෂර, අපර බ්‍රාහ්මී අක්ෂර කියල තමයි හඳුන්වන්නෙ. අවට ප්‍රිසරයෙ සුන්දරත්වය ගැනනම් කියල වැඩක් නෑ, ගිහිල්ලම විදින්න ඕන. මගේ කැමරා කාචයට වැලි මුවෙක් මඟහැරුනෙ සුළු මොහොතක ප්‍රමාදයකින්. නිදහස, නිස්කලංකත්වය අදටත් ඒ පෙදෙස්වල තියෙනවා. ඔන්න ඉතින් මම එතනින් නික්මෙන්න තමයි හදන්නෙ. වැඩිදුර ඡායා රූප බලන්න කැමති අය මගේ මුහුණු පොතට ගොඩවෙන්න.


"කළා වැව ළඟ ඉලුක් හෙවනක
මැටි පිළක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා..."


     ගීතයේ තියෙන විදියටම කළා වැව ළඟ සුන්දරත්වය විදගෙන අපි ගියා විජිතපුර පන්සලට. වර්ෂාවෙන් බාධා ඇති උනත් පන්සලටත් පොඩ්ඩක් ගොඩවෙලා යන්න අමතකකරෙ නෑ. මේ පන්සලෙත් අපූරු කැටයම් සහ චිත්‍ර තියෙනවා. ඒ හැමදේම ලිපියෙ අන්තර්ගත කරන්න බැරි නිසා මගේ මුහුණු පොතේ ඇතුලත් කරා. මම මුලින්ම කිව්වනේ අපි අනුරපුරයට ගියෙ කියල. එතකොට හම්බ වෙච්ච තව වැදගත් ස්ථානයක් තමයි දෙවැනි සේන රජු විසින් ඉදිකරන ලද නාච්චාදූව වැව. පහුගිය කාලෙ (එනම් 2011 පෙබරවාරි මාසයේ විතර) නම් මේ වැව ගැන බොහෝ දෙනෙක් කතාබස් කරා. ඒකට හේතුව උනේ මේ වැව පිටාර ගලලා මහා විනාශයක් සිදුකිරීම තමයි. අදට ඇති. වැඩියෙනුත් එක්කම කිව්වා.


"ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූවිට හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා..."


     ලිපිය අවසාන කරන්න ගීතයේ අවසාන කොටසත් එකතු කරේ ලියන්න දෙයක් නැතුව එහෙම නෙමේ. ඔය වචන කිහිපයේ ගැබ් වෙලා තියෙන තේරුම ගැන හිතලා. ලිපිය කියලවා නිකන් ඉන්න වෙලාවක ඒ ගැනත් පොඩ්ඩක් හිතල බලන්න. අපූරු නිර්මාණ කිහිපයක එකතුවක් සමඟ අදට මම යන්නම්. :-)

6 comments:

අසුරයා said...

ධාතුසේන රජතුමා මේක කෙරුව බවට සැලකෙන්නෙ කලා වැව ලග තියෙන නිසා. නැතුව ඒ ගැන සාක්ෂි නැත. මෙම පිළිමයේ ඇති අත්, පා, උරහිස් ලෙසින් ඇති අනුපාත සලකා බෑලීමේදී මෙය ගෞතම බුදුන්ගේ නොව දීපංකර බුදුන්ගෙ ලෙස මතක් ඇත. (මහමෙව්නාවේ සමාධි පිළමය කාශ්‍යප බුදුන්ගේ ලෙස සැලකේ.) මට මතක විදිහට තියෙන ඔක්කොම සෙල්ලිපි පූරුව බ්‍රාහ්මීය ඒවාය. මෙය සැදූ ගුරාගේ ගෝලයා සාදන ලදැයි සැලකෙන මේ ආකාරයේම පිලිමයක් සැස්සේරුව විහාරයේ දක්නට ලැබේ.

Anuja said...

ධාතුසේන රජතුමාගෙ කාලයේ මෙම පිළිමය කල බවට එතන සඳහන් කරල තිබුනා. ඒකනම් වගකිවයුතු පුද්ගලයෙක් නැතිව තිබෙන පුවරුවක් කියල අහක දාන්න පුළුවන්. හැබැයි ගිරි ලිපියේ අක්ෂර අපර බ්‍රාහ්මී අක්ෂරබවට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් වරයාගේ අනුමැතිය ඇතිව සඳහන් කරපු පුවරුවක් තිබ්බා. මම අදාල ඡායා රූප දෙකම ව්ද්‍යුත් තැපෑලෙන් එවන්නම්. මොනා උනත් බොහොමත්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට. :-)

සරත් ලංකාප්‍රිය said...

ලංකාවේ ඉපැරණි විහාර වලින් මම වැඩම ආසකරන්නේ ගල් විහාරයට..මං කියල තියෙන්නේ ස්වභාවික විදිහට මැරෙනවනම් මට අවසාන මොහොතේ එතන පෙන්නන්න කියල.. කෝකටත් කියල මම එතැන් විදිඕ කරලා තියාගෙන තියෙනවා ලොකු පින්තුර වලට අමතරව.. සමහරවිට මම ඒ කාලේ ගල් වඩුවාගේ අතවැසියා වත් වෙලා ඉන්න ඇති.. ඊ ලඟට අවුකන පිළිමයට.. හැම අවුරුද්දෙම නොවරදවාම යන තැනක්..

Hasitha said...

@ අසුරයා

ධාතුසේන රජ සමයේ කාලසේන සත්ථු නම් ප්‍රතිමාවක් කරවූ බව කියවෙනවා. ඒ හැරෙන්නට රජු කාලවාපිය හෙවත් කලා වැවත් ඒ අසළ කාලවාපි විහාරයත් කරවා තිබෙනවා.

මේ නිසා කාලසේන සත්ථු එහෙමත් නැත්නම් කාලසිලා ප්‍රතිමාවත් ඒ ආසන්නයේම කරවන්න ඇතියි කියලා අනුමාන කරනවා. මේ අනුමානය මත පදනම් වෙලා තමා කියන්නේ ධාතුසේන රජතුමා කරවපු කාලසේන සත්ථු ප්‍රතිමාව අවුකන ප්‍රතිමාවයි කියලා.

Hasitha said...

"මේ ස්ථානය හා සබැඳි තවත් පුරාණ කතාවක් තමයි, මහාවංශය රචිත මහානාම හිමි, මෙම ස්ථානයේ වැඩවාසය කරල තියෙනව කියන කතාව"

ඒ කතාව සත්‍ය වෙන්න පුලුවන්. ධාතුසේන කුමාරයා සොළීන්ගෙන් ආරක්ෂා වෙන්න පැවිදි වෙලා හිටියේ තමන්ගේ මාමා වුණු මහානාම හාමුදුරුවෝ ගාව කියලා කියනවනේ. ඒ මහාවංශය රචානා කරපු මහානාම හාමුදුරුවෝ කියලා මතයක් තියෙනවා

බුදු පිළිමයේ මුද්‍රාව ගැන විවිධ මත තියෙනවා ඒක අභය මුද්‍රාව, ව්‍යාකරණ මුද්‍රාව, ආශිර්වාද මුද්‍රාව කියලා මත 3 ක් තියෙනවා.

බුදු පිළිමයේ උස මම දන්න විදිහට නම් අඩි 38 අඟල් 10. පද්මාසන පීඨිකාවත් එක්ක අඩි 42

Anuja said...

@හසිත: අදහස් වලට බොහෝම ස්තුතියි. ලිපියක වටිනාකම එන්නෙ, ලියපු එක්කෙනාගෙ අදහස් වලට වැඩිය අනිත් අය එකතුකරන විස්තර නිසා කියලයි මම නම් හිතන්නෙ. :-)