Friday, May 6, 2011

෴ රෝස තිරුවාන නිධිය බලා නාමල් උයන වෙත...

     ඔන්න මම ආවා. පොරොන්දු වෙච්ච විදියට තිරුවාන නිධියකුත් අරගෙනම. නිකන් එකක් නෙමේ, දකුණු ආසියාවේ තියෙන විශාලම තිරුවාන නිධිය. මේ ස්ථානය සොයා ගැනීම, බලා ගැනීම සහ මේ පිළිබඳව ලෝකය දැනුවත් කිරීම වෙනුවෙන් මුලින්ම අපි වනවාසී රාහුල හිමියන්ට නමස්කාර පූර්ව ස්තුතිය පිරිනමල ඉදිමු.


     නාමල් උයනට මම ආවේ දඹුල්ලෙ ඉඳලා. ඒ නිසා මට පාර කියන්න වෙන්නෙත් එහෙමයි. ඇත්තටම කිව්වොත් දඹුල්ල රජමහා විහාරයේ ඉඳල නම් වැඩි දුරක් නෑ. අතරමග හම්බ වෙච්ච මතක නගරෙකට තිබ්බෙ මඩාටුගම කියන එක තමා. ඔන්න කොහොම හරි තැනට ආව කියමුකො. ඊට පස්සෙ ඔය ගොල්ලන්ට රු.20ක ප්‍රවේශ පත්‍රයක් අරගෙන තමා ඇතුල් වෙන්න තියෙන්නෙ. ඇත්තටම තිරුවාන නිධිය බලන්න යන්න තියෙන්නෙ පුංචි කැළයක් මැදින්. ඕකට තමා නාමල් උයන කියල කියන්නෙ. දැන්නම් අඩි පාරක් කපලා ගඩොල්නුත් අල්ලගෙන යනවා. පෞද්ගලිකව මගේ අදහස නම් ගඩොල්වගේ කෘතිම දේවල් නම් කැළේ ඇතුලට ඕනනෑ කියන එක.

     පටන්ගත්ත තැනම තියෙනවා මේ කැළෑ ප්‍රදේශයේ ගැවසෙන පක්ෂීන් සහ මේ අවට දකින්න ලැබෙන ශාක වර්ග පිළිබඳ පොඩි විස්තරයක් ඇතුලත් පුවරුවක්. ඕක බලාගෙන ඇතුලටම යන්න. ඔහොම යනකොට ඔයගොල්ලන්ගෙ දකුණු අත පැත්තෙන් තියෙනවා වනවාසී රාහුල හිමියන් වැඩසිටින ආවාස කුටිය සහ රන් ආලේපිත සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ නමක්. ඔන්න ඒ ප්‍රතිමාවහන්සේගෙ පින්තූරයක් නම් නමම එකතුකරා. පොඩ්ඩක් වට පිට බැලුවොත් ඔය ගොල්ලන්ට පෙනේවි රථ වාහනයක් ඔතෙන්ටම ගේන්න පුළුවන් මාර්ගයක් තියෙන බව. හැබැයි ඒක සන්චාරකයින් සඳහා විවෘත නෑ. ;-)


     හරි දැන් ඔතන හිටියා ඇතිනෙ. යමු ඉස්සරහට. හෝව්... හෝව්... එක දෙයක් පෙන්නන්න අමතක උනා. ඔතන තමා තියෙන්නෙ මේ වනයේ තියෙන විශාලම කරුවල ගහ. හොයාගන්න අමාරු වෙන්නෑ, මොකද ඒක දැන්වීමක් ආකරයට ගහේ එල්ලලා තියෙනවා. දැන් යං. වැඩි දුරක් යන්න කලින් ඔය ගොල්ලන්ට බලාගන්න පුළුවන් රාහුල හිමියන්, නාමල් උයන සහ රෝස තිරුවාන නිධිය පිළිබඳ ලෝකය දැනුවත් කරන්න ගත්ත මුල් කාලයේ උන්වහන්සේට සෙවන දීපු මොර ගස.


    ඒක පහුකරපු ගමන් ආයිමත් දකුණු අත පැත්තෙම තියෙනවා විහාරයක නටඹුන්. මේ විහාරය හඳුන්වන්නෙ නාමල් මහා සෑය කියල. ඔන්න ඒකෙ පින්තූරෙකුත් දැම්මා.


     ඔයවගේ දේවල් බලාගෙන යනකොට කිසි මහන්සියක් නම් දැනෙන්නෑ. මූලිකම හේතුව තමයි ගස් වලින් වැහිල තියෙන නිසා අවුරස්නෙ කෙලින්ම වැටෙන්නෑ. පොඩි දියපාරවල් එහෙම පහුකරගෙන තිරුවාන කන්ද පේන මානයට එන්න තියෙන්නෙ. බොහෝ සන්චාරකයින්ගෙ ගමනාන්තය ඈතට පේන හැටි පහත පිංතූරෙන් බලා ගන්නකෝ. ඔතනට තමා කට්ටිය නගින්නෙ. හැබැයි ඔය පේන ටික යන්න නම් කිසිම ස්වාභාවික හෙවනක් නම් නෑ. මහ දවාලෙ තිරුවාන නිධිය නගින එකේ රසය කියල වැඩක් නෑ ;-)


    කොහොම හරි නැගගත්තා. කන්දෙ නම් අමාරුවක් නෑ අවුවතමා අවුල. මෙතන තියෙන්නෙත් බුද්ධ ප්‍රතිමාවක්. මේකෙ විශේෂත්වයක් තියෙනවද කියලනම් හරියටම දන්නෑ හැබැයි අපේ ඇතැම් බාල වින්දන ජනතාව තමන්ගෙ නම් ගම් බුදුරුව පිටිපස්සෙ ගහල ගිහිල්ල තියෙනවා. සමාජයක් උනාම කාලකණ්නි පිරිසකුත් ඉන්න ඕනනේ නැත්නම් සමාජ විශමතාවයට අවුල් වගේ :D


     බොහෝ පිරිසකගෙ ගමනාන්තය මේක උනාට මට නම් කඳු කැළෑ පෙන්නන්න බැරිනිසා තව පොඩි දුරක් ගියා. පල්ලෙහා තියෙන පින්තූරෙ මම ගත්තෙ ඔය කිව්ව බුදු රුව ළඟ ඉඳන්. කොහොමහරි ඔය පේන දුරත් ගිහින් ඊට එහාතියෙන කඳු පල්ලමත් බලල එන්න කැමතිකෙනෙක් ඉන්නවනම් යමු මාත් එක්ක තව ටික දුරක්. සමහරු නම් කියයි බලන්න දෙයක් නෑනෙ කියල. හැබැයි උඩට ගියාම අවට තියෙන සුන්දරත්වය නම් වචන වලින් කියල නිම කරන්න බෑ. මම ගත්ත තව ඡායා රූපයක් දාන්නම්. වැඩිපුර ඡායා රූප මේ ලිපිය ඇතුලෙ දාන්නෑ. ඒව මගේ මුහුණු පොතේ තියෙනවා කැමති නම් ගිහින් බලන්න පුළුවන්. මම නම් අහිතක් හිතන් නෑ :-)


     නිවාඩු තියෙනවනම් බයක් එහෙම නැත්නම් කඳු පල්ලම එහෙම බැහැල පොඩි අවදානමක් එහෙම අරගෙන එන්න. මොකද මේව තමයි ජීවිත්තේ ආපහු හැරිල අහින්සකව සතුටු වෙන්න පුළුවන් දේවල්. එහෙනම් අදට මම ගිහින් එන්නම්. සුබ ගමන්...!


1 comment:

Hasitha Gunasinghe said...

රිස්තු වර්ෂ 924 දී ශ්‍රී ලංකාවේ රජ කළ දප්පුල නම් රජු විසින් මිනිසුන් සඳහා වු අභය භූමියක් ලෙස නාමල් උයන නම් කර ඇති බව නාමල් උයනට පිවිසෙන ආඩියාගල මාර්ගයේ ඇති සෙල් ලිපියේ සඳහන් වේ.

මේ ගැන වැඩි විස්තර

http://si.wikipedia.org/wiki/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A_%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A_%E0%B6%8B%E0%B6%BA%E0%B6%B1