Tuesday, December 27, 2011

෴ ඉලුක්කුඹුර (මානිගල කන්ද, සේර ඇල්ල) චාරිකාව ෴


     කොහොමද යාළුවනේ... ඔන්න ඉතින් මාස හයකට විතර පස්සෙ සුපුරුදු මම, මගේ ප්රියතම විනෝදාංශයක පසු සටහනක් අරගෙන ඔයගොල්ලන්ව හම්බ වෙන්න ආවා. ඔව්, තවත් චාරිකාවක් :-) අපේ ගමන් මාර්ගය උනේ, කොළඹ කොටුව, මහනුවර, මාතලේ, රිවර්ස්ටන්, ඉලුක්කුඹුර. ඉලුක්කුඹුරේ ඉඳන් පයින් ඇවිද්ද ටික තමයි ලස්සනම කොටස. ඒත් මං පිළිවෙලට කියාගෙන එන්නම්කෝ


Monday, May 16, 2011

෴ මම ගියා අවුකන බුදුන්ටත් දැස්දුන් මිනිසා සොයා...


"මේතරම් සියුමැලිද කළු ගල
හිතන්නටවත් බැරි නිසා...
මම ගියා අවුකන බුදුන්ටත්
දැස්දුන් මිනිසා සොයා..."

Friday, May 6, 2011

෴ රෝස තිරුවාන නිධිය බලා නාමල් උයන වෙත...

     ඔන්න මම ආවා. පොරොන්දු වෙච්ච විදියට තිරුවාන නිධියකුත් අරගෙනම. නිකන් එකක් නෙමේ, දකුණු ආසියාවේ තියෙන විශාලම තිරුවාන නිධිය. මේ ස්ථානය සොයා ගැනීම, බලා ගැනීම සහ මේ පිළිබඳව ලෝකය දැනුවත් කිරීම වෙනුවෙන් මුලින්ම අපි වනවාසී රාහුල හිමියන්ට නමස්කාර පූර්ව ස්තුතිය පිරිනමල ඉදිමු.

Monday, April 25, 2011

෴ නොසිඳෙන දිය උල්පතකින් යුත් දඹුල්ල රජමහා විහාරය...


     සිංහල හින්දු අලුත් අවුරුද්දට පස්සෙ අපි හම්බ වෙන පළවෙනි වතාව තමයි මේ... ඒ නිසා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියනගමන් මාත් එක්ක රන්ගිරි දඹුළු රජමහා විහාරය වන්දනාමාන කරගෙන අලංකාර දඹුළු ලෙනත් බලන්න යන්න එන්න කියල පොඩි ආරාධනාවකුත් කරනවා :-)


     මේපාර අලුත් අවුරුද්දෙ වැඩ ඇල්ලුවේ පොඩිපහේ චාරිකා කිහිපයකින්. ඇත්තටම කිව්වොත් ඒකාකාරී ජීවිතයට නව පණක් ලැබුනාවගේ. සති දෙකකට ආසන්න කාලයක් කිසිම අන්තර්ජාල සම්බන්දතාවක්, ජංගම දුරකථන නාදවීමක්, පොතක් පතක්, පරිගනකයක් නැතුව දුර ඈත ගමක ගෙවුනු අපූරු නිවාඩු කාලයක්. කොළඹට සුපුරුදු මුදල් උපයා ගැනීමේ යාන්ත්‍රික ජීවන රටාවෙන් මිදුනු මිනිසුන් පිරිස් තවමත් ලක්දිව වෙසෙන අතර ඔවුන් ජීවිතය තුල ලබන සතුට යහමින් මුදල ඇති පුද්ගලයෙකුටවත් ලබා ගැනීමට හැකිදැයි සිතුනු වාර අනන්තය. ඇත්තටම අපි හොයන සතුට මොකක්ද?


     වෙන චාරිකාවලට සම්බන්ධ මගේ ලිපි වගේ මේකෙ නම් පාර හොයාගැනීමට අදාලව වැඩිපුර විස්තරයක් කියන්න දෙයක් නෑ. මොකද විහාරය පිහිටලා තියෙන්නෙ දඹුළු නගරයට ඉතා ආසන්නයෙම තමයි. අලංකාරවූත් විශාලවූත් හිඳි පිළිමයකින් විහාරය පිරී තිබෙන අතර කෞතුකාගාරයක්, දේවාල කිහිපයක් සහ රන්ගිරි දඹුළු ගුවන් විදුලි සේවාවද පිහිටුවා ඇත්තේ ඒ ආසන්නයේමය. විහාරය හා ඒ අවට ඇති බොහෝ කළා නිර්මාණ දඹුළු ලෙන් වලට සරිලන ලෙස කෘතිමව නිමවා ඇති නමුත් සුන්දරත්වය අතින්නම් ඉතා ඉහළය.

     ලිපිය කෙටි වෙන්න ඕන නිසා මම දැකපු සහ දැන ගත්ත අපූරු සහ අළුත් දේවල් ගැන පමනක් ලිපියෙ ඉතුරුටික පුරවන්නම්. මුලින්ම ඉතිහාසය පොඩ්ඩක් ගැන දැනගමු. බුද්ධ වර්ෂ වලින් කියනවනම් 455 වැන්නෙදි, වළගම්බා හෙවත් වට්ටගාමිණී අභය රජතුමා තමයි මේ ලෙන තුල පිළිමවහන්සෙ විශාල ප්‍රමාණයක් ස්ථාපනය කරවලා ආරම්භ කරල තියෙන්නෙ. ඒකාලෙ මේ ලෙන හඳුන්වලා තියෙන්නෙ අවිජ පබ්බත කියලලු. ඉතින් එහෙම ආරම්භ උන මේ ලෙන් විහාරයට මෙම හිඳි පිළිම වහන්සේ එකතුවෙලා තියෙන්නෙ පහුකාලයක. මේ හිඳි පිළිමයෙ තියෙන විශේෂත්වය තමයි, රත්තරන් ආලේපිත, ධර්ම චක්‍ර මුද්‍රාවෙන් පවතින ලොව විශාලම හිඳි පිළිම වහන්සේ වීම්. පිළිමයේ උස අඩි 100ක් ලු. ඒවගේම මෙහි පවතින බෝධිය ජය ශ්‍රී මහා බෝධි අංකුරයකින් පවතින්නක් බව සඳහන් වෙනවා.


     මෙම දඹුළු ලෙන තුල මම දුටු අනික් සුවිශේෂී ස්ථානය තමයි කිසිදා නොසිඳෙමින් පැවතියාවූ ජල උල්පත. ඇත්තටම මෙහි ජල බින්දු වැටෙන්නේ ලෙන මුදුනින්, වෙන උල්පත් වගේ පොළවෙන් නෙමෙයි. ඒත් බැලූ බැල්මට ලෙන මුදුනෙ ජලය එකතු වෙච්ච තැනක්වත් ගහක් කොළක් වත් පේන්න නම් නෑ. වර්ථමානයේ නම් ලෙන මුදුනට නගින්න දෙන්නෑ. ඒ නිසා ඊට වැඩි දෙයක් නිරීක්ෂණය කරන්න බෑ. හැබැයි මේවගේ දෙයක් සිදු වෙන්න බැරි කමකුත් නෑ. :-)


     දැන්නම් මම කියන්න යන්නෙ මේ දඹුළු පන්සලටවත්, ලෙනටවත් විශේෂිතවූ දෙයක් ගැනනම් නෙමේ, හැබැයි බෞද්ධ කළා ශිල්පවල තියෙන සියුම් අංගයක් ගැන. ඔය ගොල්ලො දන්නවද සැතපෙන බුදු පිළිමයක සහ පිරිනිවන් පෑම දක්වන බුදු පිළිමයක් අතර වෙනස? මම නම් අද වෙනකම් දැනගෙන හිටියෙ නෑ. මට දැන ගන්න ලැබුනු විදියට නම් ඒ සියුම් වෙනස සොයාගන්න පුළුවන් පිළිම කොටසේ පාදයන්ගේ ඇඟිලි පිහිටා තියෙන ආකාරයට. සැතපෙන පිළිමයක ශ්‍රීපාදයන්ගේ මහපට ඇඟිලි සමාන්තරව පිහිටා ඇති අතර පිරිනිවන් පැම පිළිබුඹු කරද්දී ඉහළින් තිබෙන පාදයේ, එනම් වම් පාදයේ මහපට ඇඟිල්ල සහිත පාදය තරමක් පිටුපසට පිහිටන ආකාරයට නෙළා පැවතීමයි.


     මේ ස්ථානයේ තියෙන බිතු සිතුවම්, පිළිම වට පිටාවට අදාල සුන්දරත්වයනම් ලිපියකින් විස්තර කරන්න අමාරුයි. ඒ ටික ඔයගොල්ලො ඇවිල්ලම බලාගන්න. ආපුවම මිනිසාගේ පැරණිම මිතුරාවන වඳුරාගෙන් පොඩ්ඩක් පරෙස්සම් වෙන්න අමතක කරන්නත් එපා. ඌ අපිටනම් හානියක් කරන්නෑ, කරන එකම දේ අතේ තියෙන දේ උදුරගෙන යනඑක විතරයි. උනුත් කාලයක් එක්ක ටිකක් වෙනස්වෙලා. එහෙම කිව්වෙ පිරිමින්ගෙ අත්වල තියෙන දෙවල්වලට වඩා උන් උනන්දු වෙන්නෙ කාන්තාවන්ගෙ අත්වල තියෙන දේවල් අරගෙන දුවන්නලු. :D


     අදට ඔය ඇති. ලබන පාර හම්බවෙනකොට රෝස තිරුවාන නිධියක් මතට නගින්න බලාපොරොත්තුවෙන් ඉන්න. එහෙනම් මං ගියා. ජීවිතය කෙටියි, ඒ ටිකේ පුළුවන් තරම් තමන් සතුටින් ඉඳලා අනිත් අයවත් සතුටින් තියන්න බලන්න :-)

(තව පින්තූර බලන්න මගේ මුහුණු පොතට යන්න)

Monday, March 28, 2011

♠ අසම්පූර්ණ චාරිකාවේ ඉතුරු කොටස...


     මේ ලිපිය, මගේ කලින් ලිපිය වන "කන්‍යාවියන් සොයාගිය අසම්පූර්ණ චාරිකාව" ගැන කියවෙන ඉතුරු ටික. ඇත්තටම කිව්වොත් මේ ලිපිය ලියන්න හිතල නම් ගොඩක් කල්. ඒත් එක පාරටම වැඩ වැඩි උනා. මොනා උනත් දවසේ අත්‍යවශ්‍ය අංගයක් වෙන චිත්‍රපටි බැලීම ආදිය අතපසු කරන්න බැරි නිසා මේවගේ වැඩ ටිකක් පහුඋනා. සොරි හොදේ... ;-)


     මං කලින් ලිපිය නැවැත්තුවේ හතරේ කණුව ළඟින් බැහැල. අද එතන ඉදන් කන්දෙ අපි ගියපු දුරට එනකම් යමු. හැබැයි අන්තිම ටිකේ පින්තූර නම් නෑ. මොකද දිය ඇල්ලක් දිගේ අපේ ගමනෙ අන්තිම කොටස යෙදිල තිබුන නිසා මගේ බහු කාර්‍යය දුරකතනය වතුරෙ වැටෙන් නැතිවිදියට පොලිතින් උරයක දාගෙන තමයි ගියේ. :-)

     හතරේ කණුවෙන් බැහැලා තියෙන අතුරු පාරෙ දිගටම යන්න තමා තියෙන්නෙ. එතන බස් රථය ගමන් කර පාරට අමතරව එකම එක අමතර පාරයි තියෙන්නෙ. ඒ නිසා පැටලෙන එකක් නෑ. ඒ පාර දිගේ යනකොට මුල්ම හඳුනාගැනීමේ සළකුන වන පාලම හම්බවේවි. ඒකෙ පින්තූරයක් ඔන්න මං එකතුකරා.


     ඔය පාලම පහුකරපු ගමන් පාරවල් දෙකක් තියෙනවා. එකක් දකුණට. ඒකෙ ගියපුවම කඳු තුනක් නගින්න පුළුවන්ලු. හැබැයි අපි ගියේ අනිත් පාරේ. කියන විදියට මේ පාරේ ගිහින් කඳු දෙකක් නගින්න පුළුවන්ලු. කොහොම හරි අපේ ඊළඟ සළකුණ තමයි නෙල්නා කුකුළු ගොවි පොළ. මෙතනට යන්න ක්‍රම දෙකක් තියෙනවා. අපි යන කොට ගියේ කෙටි පාරකින්. ඒ කියන්නෙ තේ වතු මැද්දෙන්. ඒ පාර විස්තර කරන්න අමාරු නිසා අපි එනකොට ආපු පාර ගැන කියන්නම්. ඇත්තටම ඒක ගැන විශේෂයෙන් කියන්න දෙයක් නෑ. හැරුන තාර පාර දිගේ කෙළින්ම ගියාම වම් අත පැත්තෙන් ගොවි පොළ පෙනේවි. පහළ තියෙන්නෙ ඒ ගොවි පොළ දුරට පේන හැටි.


     කෙටි පාරෙන් යනවනම් කන්කානම් කෙනෙක්ගෙ නවාතැනක් වගේ එකක් පහු කරගෙන යන්න වෙනවා. ඔය ගොල්ලො කලින් ගියපු අය නෙමෙයි නම් ඒ ප්‍රදේශය ගැන කිසිම වැටහීමක් නැත්නම් සහ දමිළ භාෂාව කතා කරගන්නත් අමාරුනම් හොඳම දේ තමයි කෙටි පාර මග හරින එක. ඊට වැඩිය මං ඒ ගැන කියන්න යන්නෑ ;-)

     නෙල්නා ගොවි පොළ ලඟින් පාර වල් තුන තියෙනවා. එකක් ගොවි පොළට යනපාර. ඒත් එක්කම තියෙන බොරළු පාර තමා කන්ද පැත්තට යන්න තියෙන්නෙ. තව පාරක් තියෙනවා ආයි පිටි පස්සට යන්න. හැබැයි ඒක කොහෙට යනවද කියල දන්නෑ. කොහොමත් ඒ පාරට ගේට්ටුවක් දාල තියෙන්නෙ. කොහොම හරි අදාල බොරළු පාරෙ දිගටම ගියාම බංගලාවක් හම්බවෙනවා. ඔන්න ඒකෙ පින්තූරෙකුත් එකතුකරා.


     ඔය ගොල්ලන්ට පින්තූරෙ බැලුවම පේනවා ඇති බංගලාවෙ ගේට්ටුවට දකුණු පැත්තෙන් තව ගල් කනුවක් තියෙනවා. ඇත්තටම එතන ගල් කණු දෙකක් තියෙනවා. මගේ කැමරා කාචයට අහුවෙලා තියෙන්නෙ එකයි. ඔන්න ඔයපාරේ තමයි යන්න තියෙන්නෙ. ඔය පාර කියන්නෙ ඇත්තටම වතු වලට ජලය පරිවහනය කරන්න අඟලක් ආකාරයට හදපු මිනිස් නිර්මාණයක්. ඕක දිගේ යනකොට දකුණු අත පැත්තෙ ලස්සන බුදු ගෙයක් හම්බ වෙනවා. ඒ බුදුගේ මගෙ කැමරාවෙ සටහන් වෙලා තිබ්බෙ මෙන්නෙ මේ විදියට.


     ඒකත පහු කරගෙන දිගටම යනකොට ආයිමත් දකුණු අත පැත්තෙම හම්බ වෙනවා පොඩි දේවාලයක්. ඒකෙ පින්තූරෙකුත් මං එකතු කරා.


     මම හිතන්නෙ අපිට එතන ඉදන් තමා පාර වැරදුනේ. හැබැයි අපිව දැනුවත් කරල තිබ්බෙ අපි ඇපු ඇල දිගේම යන්න කියල. ඒ නිසා අපි ඇල දිගේම ගියා. පහල පින්තූරෙ තියන ඇල දිගේ උඩට යන්න කියල අපි අන්තිමට තීරනය කරා. ඔතනින් පස්සෙ නම් පින්තූර මුකුත්නෑ. අපි ගියා... ගියා... ගියා... අන්තිමට පොඩි දිය ඇල්ලක් හම්බ උනා. හැබැයි එතන්ට එනකන් ආවෙත් ලේසි පහසු පාරක නම් නෙමේ. කොහොමහරි දිය ඇල්ල නගින්න ටිකක් අමාරු වගේ දැනුනා. මේ තැනට ජංගම දුරකතන සංඥා නෑ. මොබිටෙල්, ඩයලොග්, එයාටෙල් මුකුත්ම නෑ. මිනිස් පුලුටක් නෑ. මෙතන ඉදන් කැළේ පාරකින් යන්න තීරණය කරත් කැළේට ඇතුලු උනගමන් තේරුනා කිසිම අඩි පාරක් නෑ කියල. අපි නවතින විදියට බඩු ගෙනාවෙවත් කෑම ගෙනාවෙවත් නැති නිසා ගමන එතනින් ඉවර කරන්න උනා.

     වැඩේනම් දුකයි තමයි. මොනා කරන්නද? දැන දන්නවා අඩුම ගානෙ ඒ වගේ ගමනක් යන්නෙ කොහොමද, මොනාද ගෙනියන්න ඕන කියලවත්. ඔන්න ඔහොමයි අපි කන්‍යාවියන් ළඟටම ගිහින් හැරිලා ආවේ. කියන්න වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ වගේ සුන්දර පරිසරයක් ගැන අපිව දැනුවත් කරපු දිනුක තිලංග සොයුරාට අපේ හද පිරි ස්තුතිය. නැවත තවත් කොහේ හරි චාරිකාවකින් හමුවෙමු. ලංකාව කියන්නෙ ලස්සන රටක්. බලන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා ලියන්න දේවලුත් ගොඩක් තියේවි. :-)

වැඩිපුර පින්තූර බලන්න, යන්න මගේ මුහුණු පොතට.

Wednesday, March 2, 2011

♣ කන්‍යාවියන් සොයාගිය අසම්පූර්ණ චාරිකාව...


     ඉතින්... ඉතින්... කොහොමද? මාස දෙකහමාරක් තිස්සෙම නිහඩව ඉදල ඔන්න නැවත සුපුරුදු මම එලියට ආවා. විභාගත් ඉල්ලන් දාගත්තු බාල්දි කිහිපයකුත් නිසා පහුගිය ටිකේ කොහේවත් යන්න බැරි උනා. ඒ නිසා ලිපියක් ලියන්න මාතෘකාවක් තිබ්බෙත් නෑ. මගේ කැමතිම මාතෘකා ඉතින් මං ගියපු කඳු, කැළෑ, දිය ඇලි වගේ ඒව තමයි. වැඩි විස්තර නැතුව කියන්නම් මේපාර කොහෙද ගියේ කියලා. ඇත්තටම අපි ගියේ සප්ත කන්‍යා කඳු වැටිය බලල අඩුම තරමෙ එක කන්දක් හරි නැගල එන්න. අවාසනාවකට අපිට එක කන්දක පොඩි දුරකට විතරක් ගමන සීමා කරන්න උනා. ලිපිය පටන්ගත්ත ගමන් ඉවර කරන්න හොඳ නැති නිසා මම මුල ඉඳල විස්තරේ කියන්නම් කෝ. :-)
සුන්දර කන්‍යාවියන් මගේ කැමරා කාචයේ සටහන් වෙලා තිබුනේ මෙන්න මේ විදියටයි.



     අපි ඉතින් හැමදාමත් වගේ සාක්කුව ගැන හිතල ගමන් යන අය නිසා මෙදා පාරත් දුරියෙන්ම ගමන ආරම්භ කරන්න සෙට් උනා. සඳුදා සවස්‍ යාමයක්වූ එදින අපට ආශිර්වාදයට මෙන් මල් වැස්සක් නොව මොරසූරන වරුසාවකුත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අවට පතිත උනා. කෙසේ හෝ රාත්‍රී 8ට කොටුවෙන් පිටත්වන රාත්‍රී තැපැල් දුම්රියට අපි ගොඩනැග්ගේ කෙසෙල් කොළයක ඔතා ගෙදරින් ගෙනැත් තිබුනු හොඳ බත් මුලකටත් වගකී පසුවයි. අපේ ගමනාන්තයවූ හැටන් දුම්රිය ස්ථානයට කොටුවේ සිට එක් මගියෙකුට රු. 140 වැයවන අතර එම දුම්රිය රාගම, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, රඹුක්කන, කඩුගන්නාව, පේරාදෙණිය හන්දිය සහ නාවලපිටිය යන දුම්රිය ස්ථාන පසුකර හැටන් වලට පැමිණෙන විට උදෑසන 1ට ආසන්නව තිබුනි. (ඇතැම් දුම්රිය ස්ථාන මට මග හැරී ඇත්නම් ඒ ස්ථානවලදී මම සැප නින්දේ පසුවූබව කරුණාවෙන් සළකන්න ;-) ) මම මෙතරම් විස්තර සහිතව මේ ලිපිය ලියන්න හිතුවේ අන්තර්ජාලය භාවිත කරන සහ මෙවන් ගමන් යන හිත වතුන්ට හොඳින් සූදානම්ව ගමන ආරම්භ කරන්න උදවුවක් වශයෙනුයි. මොකද නැත්නම් අපිට වගේ ගමන සම්පූර්ණ කරන්න බැරිවෙයි සමහරවිට.

     උදෑසන වනතෙක් දුම්රිය ස්ථානයේම බංකුමත ඇල වෙන්නට සිතාගත් අප සුළු මොහොතකින් රැගෙන ආ ඇදුම් දෙක තුන එක මත එක ඇද ගත්තේ සීතල සුළං අප ඇඟ විනිවිද යන්නාක් මෙන් හැඟුනු බැවිනි. කෙසේ හෝ උදෑසන 6ට පමණ ගෙනැවිත් තිබුණු රොටියක් ගිලදමා හැටන් බස් නැවතුම් පොළ වෙත පියමැන්නේ හැකි තරම් කල්වේලා ඇතුව සප්ත කන්‍යාවියන් වෙත යාමට තිබූ නොඉවසිලිමත් බව නිසාමය. ටික දුරක් පාගමනින් ගිය අපට බස් නැවතුන් පොළ සොයා ගැනීම අපහසු නොවුනත් නිවැරදි බසය සහ අදාල බසය එන නිවැරදි වේලාව සොයා ගැනීමට තරමක් වේලා ගතවිය. පාසල් කාලයේදී අකුරු කිහිපයක් ලිවීමටත් විශ්ව විද්‍යාල නවක වදය සමයේදී කට පාඩම්කර වාක්‍ය පහක් තෙපලීමටත් පමණක් සීමාවූ අපගේ දමිළ භාෂා දැනුම ඊට එක් හේතුවක් විය.

     උදෑසන 7.30ට නෝර්ටන්බ්‍රිජ් වෙත යාමට බසයක් පැමිනි අතර ගමනාන්තය වෙත යෑමට එක් මගියෙකුට රු.33ක් වැයවිය. දික් ඔය, ඔස්බෝන් වත්ත ආදිය පසුකරමින් උදෑසන 8.20 පමණ වනවිට අපි නොර්ටන්බ්‍රිජ් වෙත ළඟා උනෙමු. ඒ අතරමගදී හමුවූ කාසල්‍රී ජලාශයේ දසුනක් මගේ ජංගම දුරකතන කැමරාවේ පහත ආකාරයට සනිටුහන්වී තිබුනි.



     මේ මඟ අපිට නම් අළුත් උනාට සිරිපා කරුණා කරන්න වාහන වලින්‍ යන නඩ වලට නම් සුපුරුදු පාරක්. මේ තැනත් හරි විශේෂයි. මොකද කියනවනම් ලක්ෂපාන වේල්ල පිහිටා තියෙන්නෙ මෙතන. ඔන්න ඉතින් ඒකෙ ඡායා රූපෙකුත් එකතුකරා.



     ලක්ෂපාන වේල්ල මතින් යන මාවත වැටෙන්නෙ ගිනිගත්හේන පැත්තට. අපි එනකොට ආවේ ඒ පාරේ. හැබැයි අපිට යන්න ඕන පාර අනිත් එක. ඔතන තියෙනවා ආරක්ෂක මුර පොළක්. ඒ අය මාටින් එයාර් ගුවන් යානයේ රෝදයක් එහෙම එතන තියල වේල්ල අවට ඡායා රූප ගැනීම එහෙමත් තහනම් කරල තියෙන්නේ. එපා කියන වැඩ කරන්න මං හරි ආස නිසා ඡායා රූප තුන හතරක් අරගත්තා. ගත්ත ඡායා රූප වලින් තවත් එකක් ඔය ගොල්ලන්ට බලන්න කියල ඔන්න එකතුකරා. හැබැයි ඔය ගොල්ලො මේ ඡායා රූපෙ ගැනනම් දැන ගන්න වටින දෙයක් තියෙනවා. අපේ ලංකාවේ සප්ත කන්‍යා කඳු වැටිය ලොව පුරා ප්‍රසිද්ධ වීමට එක් හේතුවක් උනේ, 1974දී මගීන් 191 දෙනෙක් මිය පරළොව යවමිනි සිදුවූ ගුවන් යානා අනතුරයි. එම ගුවන් යානය ඕලන්ද රජය සතුවූ අතර එහි රෝදයක් තමා මෙතන තියෙන්නේ. හැබැයි ඇත්තටම අනතුර උනේ මීට හත් ගව්වක් විතර එහා, ඒ කියන්නේ හරියටම අපි යන කඳුවල ගැටිලා :-D


     ඔන්න ඉතින් උදේ 8.45ට විතර නොර්ටන්බ්‍රිජ් වල ඉදන් මස්කෙළියට යන්න බස් එකක් සෙට් උනා. අපේ නැවතුම් පොළ වන හතරෙ කණුවට නම් එක් මගියෙකුට වියදම් වෙන්නෙ රු. 15ක් විතරයි. සුන්දර දසුන් මධ්‍යයේ අපි අපේ රථ වාහන වල ගමන් වල කෙළවරට ආවා. මෙතන ඉඳන් තියෙන්නේ දෙවියො අපිට දීපු වාහනෙන් ඒ කියන්නේ මේ අපේ කකුල් දෙකෙන් ගියපු ගමන ගැන කතාව. ඒ ගැන විස්තර වෙන ලිපියකින් කියන්නම්, මොකද හිතුවට වඩා මේ ලිපිය දික් උනා. එහෙනම් නැවත හමුවන තුරු මගේ මුහුණු පොතේ තියෙන චාරිකාවට අදාළ ඡායා රූප ටික බලන්න. ගිහින් එන්නම්... :-)