Tuesday, July 24, 2012

෴ මීමුරයේ සිට නුවර එළිය හරහා හපුතලේ World's End Lodge වෙත... ෴


     මුලින්ම සමාව භජනය කරනවා දෙවැනි ලිපිය ලියන්න ප්‍රමාද වීම ගැන. කලින් ලිපිය කියවපු නැති අය බලනවා ඇති මේ මොකක්ද මේ කියන්නේ කියලා. ඒ අය පොඩ්ඩකට මේ සබැඳියට ගිහින් ආවොත් හොඳයි :-) අද මම කියන්න යන්නේ මීමුරේ චාරිකාවේ දෙවැනි දිනය ගැන.




මීමුරය

ඔන්න ඉතින් උදේ නැගිටලා ඇලෙන්ම මූණ හෝද ගෙන ආයිමත් තෙලා අයියලාගේ මහ ගෙදරට ගිහින් හොඳට උදේට කෑවා. ඉන්පස්සේ ගියා මීමුරේ පාසැල සහ ඒ අවට බලන්න. එතකොට තමයි ලකේගලේ ලස්සන දැක්කේ. පහළ පිංතූරේ තියෙන්නේ ලකේගල මගේ දුරකතනයේ කැමරා කාචයේ සටහන් වෙලා තිබ්බ විදිය.


ලකේගල


ඒ පැත්තේ කරක් ගහල තියෙන අයටනම් අවට සුන්දරත්වය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. කුඹුර ළඟ තියෙන ලොකු බෝ ගහ යටට වෙලා ලකේගල සහ ඒ අවට පරිසරය දිහා ඕනතරම් වෙලා බලන් ඉන්න  පුළුවන්. ඒත් අපි වැඩි වෙලාවක් හිටියෙ නැතුව ආපහු යන්න ගියේ අදත් ලොකු දුරක් යන්න තියෙන නිසා.

ලකේගල සහ ඒ අවට පරිසරය

ආපහු හුන්නස්ගිරියට එන අතර මඟ අපි කලින්දා රෑ නතර වෙච්ච ඇලේම ඉහත්තාව මුනගැහෙනවා. නාන්න කියාපු තැන. ඉතින් කවුරු කියල එපා කියන්නද... ;-) පහළ පිංතූරෙ තියෙන්නෙ අපි නාපු තැන.


මීමුරය

නාලා කරල එනකොට ඊයේ රෑ තියපු තොවිලයක අවසාන ජවනිකා කිහිපයෙන් කොටසක් බලන්නත් පුළුවන් උනා. සමහර පැතිවල නම් උදේ එළිය වැටෙනකොට තොවිල් වැඩකටයුතු ඉවරවෙනවානේ. හැබැයි  මෙහේ එහෙම නෑ. ඒවා ඉතින් ප්‍රදේශෙන් ප්‍රදේශෙට වෙනස්නේ. කොහොමහරි තොවිල් කරන තැන ඡායා රූප කිහිපයකට අමතරව වීඩියෝ කරන්නත් පුළුවන් උනා. දැනට එක ඡායා රූපයක් විතරක් ලිපියට එකතු  කරන්නම්කෝ...

මීමුරේ තොවිලයක්

එතනින් පස්සේ ආයිමත් වාහනේට නැග්ගා හුන්නස්ගිරියට එන්න. එන අතර මඟදි පොඩි වැස්සකුත් වැටුනා. පොඩි කඩයක් ළඟින් නවත්තලා රොටියකුයි වඩේ එකකුයි කාලා රස්නෙට තේ උගුරක් බීලා එන්න අමතක කරෙත්නෑ :-) හුන්නස්ගිරියට ආවට පස්සේ තෙලා අයියගේ චරිතය මේ නාට්‍යයෙන් ඉවත් වෙනවා. ඉන්පස්සේ අපි අපේ අද දවසේ රාත්‍රී නවාතැන වෙන World's End Lodge එක බලා යන්න පිටත් උනා. ඒක තියෙන්නේ හපුතලේ. අපි ගියපු මාර්ගය කියනවනම්; හුන්නස්ගිරිය - මහනුවර - ගම්පොළ - පුස්සැල්ලාව - නුවර එළිය - බොරලන්ද - හපුතලේ.
ඔය යන අතරමඟ අපි දැක්කා රම්බොඩ දිය ඇල්ල. දිය ඇල්ල පාරට පෙනෙන විදිය තමයි පල්ලේහා පිංතූරෙ තියෙන්නේ ;-) ටිකක් විතර පැහැදිලි මදි වගේ නේද? කමක් නෑ ඔයගොල්ලෝන්ගේ කුතුහලය අවුස්සන්න ඒ ඇති :D එතනම හම්බවෙන කපොල්ලත් ලස්සනයි.


රම්බොඩ දිය ඇල්ල



ඔන්න ඉතින් ඊට පස්සෙ පොඩි අනතුරකුත් වෙලා කළුවර වැටෙනකොට අපේ නවාතැනට යන්න ඕන අතුරු මාර්ගය ළඟට ආවා. එතන ඉදන් තව කිලෝ මීටර හතරක් විතර කන්ද උඩට වාහනෙන් යන්න උනා World's End Lodge යන්න. කොච්චර කළුවර වෙලාද කිව්වොත් අපි කොච්චර උසක ඇවිත්ද කියන එක අපිට තේරුනෙත් ඊළඟ දවසේ උදේ එළිය වැටුනාම. කොහොම කොහොම හරි හොඳ කෑම එකකටත් වග කියලා නිදාගන්න කියලා ඇඳට ගියා. ඒත් හුළඟේ තරම කිව්වොත් කාමරේ දොර ගලවගෙන යයිද කියලා අපිටත් හිතාගන්න බැරුව හිටියේ. ඒත් ටික වෙලාවකින් දොර නෙමේ මුළු lodge එකම ගහගෙන ගියත් තේරෙන් නැති තරමට නින්ද ගියා.


World's End Lodge අවට


World's End Lodge එක තියෙන පරිසරය නම් කියන්න බැරිතරමට ලස්සනයි. ඒවගේම සීතලයි. ඔයගොල්ලන්ට සීතල මදි කියල හිතෙනවනම් පීනන්න ජල තටාකයකුත් තියෙනවා. බොරු කියල  හිතෙනවනම් පහළ පිංතූරෙ බලන්නකෝ... ;-)
ඊළඟ දවසේ උදේ නැගිටලා එලියට බැස්සම තමයි දැක්කේ අපි ඉන්නේ පාරාදීසයක කියලා. World's End Lodge එකට පිටිපස්සේ තියෙන්නේ තනිකර කන්දක්. ඉස්සරහ බැලුවම දුර ඈතට යනකම් පේනවා. ඒ අස්සේ අඳුර ගන්න බැරි ජලාශත් තියෙනවා. අපි හිටපු තැන ඡායා රූපයකුත් ඔන්න ඇතුලත් කරා.
World's End Lodge

දුර පයින් ගමන් (hike) යන්න කැමති අයට කියන්න වැදගත් දෙයක් තියෙනවා. මෙතන ඉඳන් හෝර්ටන් තැන්නට සහ ඉහළ ඔහිය කියන ප්‍රදේශයට යන්න කෙටි පාරක් තියෙනවලු. ඉස්සර, ඉහළ ඔහිය සහ පහළ ඔහිය යාකරන පාළමකුත් තිබිලා තියෙනවලු. පස්සේ ඒක නාය යෑමට අහුවෙලා කැඩිලා ගිහිල්ලාලු. හැබැයි ඒකෙ නටඹුන් තාම තියෙනවලු.

World's End Lodge location
 
මේ අපේ චාරිකාවේ තුන් වැනි දවස. අද හවස් වෙනකොට කොළඹට එන්නත් ඕන නිසා වැඩි සෙල්ලං දාන් නැතුව දවල්ට කාලා එන්න පිටත් උනා. පොඩ්ඩක් සාරාංශ කරල බැලුවොත් අපි හොඳ රවුමක් ගහල  තියෙනවා. පොඩි අදහසක් ගන්න ඔන්න මං සිතියම් පොජ්ජකුත් එකතු කලා. ඔය විදියට තමයි සමාප්තිය සටහන් උනේ :-)

තව පිංතූර බලන්න ඕන නම් මෙන්න... :-)


View Larger Map



2 comments:

Anonymous said...

හරිම අපූරුයි..ඇත්තටම පින්තූර ටික නම් කියල වැඩක් නැහැ..

AnujAroshA said...

ස්තුති වේවා... :-)