Tuesday, December 27, 2011

෴ ඉලුක්කුඹුර (මානිගල කන්ද, සේර ඇල්ල) චාරිකාව ෴


     කොහොමද යාළුවනේ... ඔන්න ඉතින් මාස හයකට විතර පස්සෙ සුපුරුදු මම, මගේ ප්රියතම විනෝදාංශයක පසු සටහනක් අරගෙන ඔයගොල්ලන්ව හම්බ වෙන්න ආවා. ඔව්, තවත් චාරිකාවක් :-) අපේ ගමන් මාර්ගය උනේ, කොළඹ කොටුව, මහනුවර, මාතලේ, රිවර්ස්ටන්, ඉලුක්කුඹුර. ඉලුක්කුඹුරේ ඉඳන් පයින් ඇවිද්ද ටික තමයි ලස්සනම කොටස. ඒත් මං පිළිවෙලට කියාගෙන එන්නම්කෝ


සොදුරු මිතුරන් පිරිසක් සමග සෙනසුරාදා උදෑසන කොටුවෙන් ගමන ඇරඹූ අපි, අඹේපුස්ස පියදාස අවන්හලෙන් උදෑසන ආහරය රැගෙන මුල්ම ස්වභා සිරිය විඳීමට රිවර්ස්ටන් දුර්ගයේ නැවතුනා. මඳ සිරිපොදත්, මී දුමත් නිසා ගත් ඡායා රූප එතරම් පැහැදිලි නෑ. ඒනිසා මේ ලිපියට පැහැදිලි සහ ගැලපෙනවායයි හිතන ඡායාරූප කිහිපයක් පමණක් එකතු කරන්නම්. මෙතන නම් බලන්න තියෙන්නේ අවට සිරිය තමයි. ඒනිසා යන කෙනෙක් පුළුවන් තරම් දවල්, මීදුම සහ වැස්ස නැති වෙලාවක ගියොත් තමයි වඩා හොඳ. ඇරෙන්න මෙතන උස නිසා සන්නිවේදන කුළුනු එහෙම සවිකරල තියෙනවා. ඒව බලන්නත් යන්න පුළුවන්. හැබැයි ළහටම යන්න හරි ඒවලට නගින්න හරි, ඕනනම් අවසර ගන්න වෙනවා.



ඊළඟට අපි ගියේ කුඩාලෝකාන්තය බලන්න. ඒක පිහිටලා තියෙන තැනට කියනේ පිටවලපතන කියලා. ඇත්තටම කිව්වොත් පතන කෙළවර තියෙන අගාධය තමයි ඔය කුඩාලෝකාන්තය කියල හඳුන්වන්නේ. පෙර පරිදිම කියන්න තියෙන්නේ, මීදුම නැති වෙලාවක ගියොත් තමයි අගාධයේ ගැඹුර හරියට බලාගන්න පුළුවන්. මෙතන නම් පතන හරහා යන්න ඕන මාර්ගය කහ පාටින් සලකුනු කරල තියෙනවා. ඒනිසා කොහොමත් අමරුවෙන එකක් නෑ.



ඔන්න ඉතින් ඊට පස්සෙ අපි අපේ නැවතුම්පළ වන ඉලුක්කුඹුර කියන ගම්මානයට ආවා. රිවර්ස්ටන් ඉඳලා මේ ගමට කිලෝමිටර හයක වගේ දුරක් තමයි තියනව කියන්නේ. චාරිකාවේ පළමු දවස ඔහොම ගෙවී යද්දී දෙවනි දවස පටන් ගත්තේ දරාගත නොහැකි සීතලකින්. ඒනිසා මේ ප්රදේශයේ යන්න බලාපොරොත්තුවෙන අය සීතලෙන් සහ වැස්සෙන් පරෙස්සම් වෙන ක්රම සලසාගෙන යන එක ඇඟට ගුණයි :-) කොහොමහරි ඔන්න දෙවැනි දවසේ අපේ මුල්ම ප්රයත්නය උනේ මානිගල කන්ද තරණය කරන එක. කන්දට යන්න, මහලකොටුව, රත්තින්ද සහ ඇටන්වල කියන ගම් කිහිපයක් පසුකරන් පයින් යන්න වෙනවා. පහළ රූපයෙන් පේන්නේ, මම මහලකොටුව කියන ගමේදී ගත්ත කන්දේ ඡායා රූපයක්.



මහලොටුව ගම පහුකරගෙන යනකොට හම්බවෙනවා තෙල්ගමු ඔය. මේ ඔය පටන් ගන්න කන්දට කියන්නේ සුදුගල කන්ද කියලලු. එහෙම කියන්නෙ ඇයිද කියලනම් දන්නෙ නෑ. කොහොමහරි තෙල්ගමු ඔය හරහා යන්න තියෙන පාළම මත ඉඳන් ගත්ත ඡායා රූපයක් තමයි පහත තියෙනේ.



ඇටන්වල කියන ගම තමයි මානිගල කන්දට පෙර අපිට දකින්නට ලැබෙන මිනිස් වාසස්ථානවල අවසානය. ඊට පස්සේ තියෙන්නෙ තනිකර කැළෑව. මේ කැළෑව ඇතුලෙත් තව එක ගමක් තිබිල තියෙනවා. ගමට කියන්නේ වල්පොළමුල්ල කියලලු. වියළි කාලයේදී ආහාර සොයාගෙන වස්ගමුව වනාන්තරයෙන් එන වන අලින්ගේ ගැටුම් නිසා, වල්පොලමුල්ල කියන ගම වර්ථමානයේ නමකට පමණක් සීමාවෙලා. පහත සේයාරුව, අපි තරණයකල මානිගල කන්ද, ඇටන්වල ගම්මානය කෙළවරට දිස්වෙන අයුරුයි.



ඇත්තටම මේක කන්දක් කියල කිව්වට කන්දක්මත් නෙමෙයි; කඳු යායක් :D එක කන්දක් මුදුනට නැග්ගම තව එකක් තියෙනව. ඒවගේ එකක් තමයි ඇත් ඔළු කන්ද කියන්නෙ. ඇත් ඔළු කන්ද, මගේ සුපුරුදු දුරකතන කැමරා කාචයට හසුවී තිබුනේ මෙන්නෙ මෙහෙමයි.



ඔන්න ඔහොම අපි දවසේ දහවල් කාලයේ අපර භාගය වෙනකොට සම්පූර්න කන්ද තරණයකර ඉවරකරා. අපේ නවාතැන්පළ කිට්ටුවට, මානිගල කඳුවැටිය පේන්නෙ මෙන්න මෙහෙමයි.



දවසේ හවස් භාහය අපි ගතකරේ සේර ඇල්ල නැරඹීමෙන්. මේ ඇල්ලෙ තියෙන විශේෂත්වය තමයි, දිය ඇල්ලට පිටුපසින් තිබෙන කුඩා ලෙන. පහත ඡායා රූපය, ඔය ගොල්ලන්ට කොයිතරම් දුරට තේරුම්ගන්න හැකිවෙයිද දන්නේ නම්නෑ. මේක ගත්තේ දිය ඇල්ල ඇතුලේ තියෙන ගුහාවේ ඉඳලා. සේර ඇල්ලට යන්න ඕන, මානිගල කන්දට යන පැත්තට විරුද්ධ පැත්තට. මෙතනට යන්නනම් ගමේ කෙනෙනෙක්ගෙන් අහන්නම වෙනවා. මොකද, කිසිම විදියක සටහනක් අපිටනම් දකින්න ලැබුන්නෑ.


ලිපිය කෙටි කරන්නත් ඕන නිසා මම වැඩිය විස්තර නොකිය අපේ ගමනේ අවසානය වන තෙවැනි දවස ගැනත් පොඩි සටහනක් තියන්නම්. තෙවැනි දවසේ අපි එන ගමන් මාතලේ අළු විහාරයත් වැද පුදාගෙන ආවා. අළු විහාරය තුල නම් ඡායාරූප ගන්න කොහොමත් එපා කියල තියනවා. කොහොමහරි අපේ නුවර ඉන්න මිතුරෙකුගේ ගෙදරටත් පොඩි වදයක් දීලා සොඳුරු චාරිකාව අවසන් කරේ සඳුදා රාත්රියේදී. විශේෂයෙන් කිවයුතු කරුණු කිහිපයක් තියෙනවා. මේ චාරිකාව සංවිධානය කිරීම වෙනුවෙන් මාගේ මිතුරු උපුල් (v.h.s) ;-) වෙත හදපිරි තුති. ඒවගේම දුශ්කර වංගු මතින් අපව ප්රවේශමෙන් රැගෙන ගිය චතුරංග අය්යටත්, අපගේ "ගයිඩ් මාමාටත්" අප සැමගේ ආචාරය.

කොන්ක්රීට් කණු අතර, වායු සමීකරණවල කෘතිම වාතයට කොටුවී, සාක්කුවත් බැංකුවත් අංක කොළවලින් පිරවීම පමණක් ජීවිතය යැයි නොසිතන කෙනෙක් නම් ඔබ, යන්න, විඳින්න මේ සොඳුරු පරිසරය. ඒවගේම නැවත් එනවිට මතක තියාගන්න විනාශ නොකර එන්න පරිසරය. මොකද පරිසරයට ආදරයකරන මෙන්ම පරිසරය නිසා දිවි ගැටගහගන්න තවත් පිරිසක් අපි අතර ජීවත් වන නිසා වෙන්.

නැවත් හමුවන තෙක් සොඳුරු පරිසරයක සොඳුරු මතකයක් සමඟින්, ගොඩවෙන්න මගේ මුහුණු පොතට විදගන්න එම පරිසරයේ සොඳුරු බව බිඳක්...




3 comments:

Nilusha said...

machan sera ellata yanne kohomada????? mata podi wisthara tikak denaganna one....mama fb req ekak ewwa...

Nilusha said...

machan mata meemure,sera ella balanna yanna podi wisthara tikak denaganna one...api next mnday yanna inne....mama fb req ekak demma...(last name eka lakmal)

AnujAroshA said...

ඔන්න accept කරා...
සේර ඇල්ල බලන්න ගියේ ගමේ කෙනෙක් එක්ක. ඒක තියෙන තැන හොයාගන්න අමාරු නම් නෑ. හැබැයි එතන ඇල්ලක් තියෙනවද කියල හිතාගන්න අමාරුයි ;-) කොහොම හරි ඉල්ලුක්කුඹුරේ ඉඳන් මානිගල යන පැත්තට විරුද්ධ පැත්තට යන්න ඕන ඇල්ල බලන්න. ඒ ගමේ මිනිස්සු හොඳයි. ඇහුවම විස්තර කියයි.