Monday, October 11, 2010

අලි-මිනිස් ගැටුම ලංකාවට ප්‍රශ්නයක්ද?

     මේ ලිපිය නම් මම මෙච්චර කල් ලියපු ලිපි හැමඑකකටම වඩා වෙනස් විදියෙ එකක්. මුලින්ම මම මගේ මාතෘකාව පැහැදිළි කරන්නම් කෝ. මොකද ඒක කියවපු ගමන් සමහරුන්ට හිතෙන්න බැරි නෑ මේක දේශපාලන ලිපියක්ද කියලත්. අපෝ එහෙම එකක් නම් නෙමේ. මේක ඇත්තටම කකුල් හතරෙ අලි ගැන සහ කකුල් දෙක පොළවෙ ගහල ජීවත්වෙන අපි ඔයාල වගේ මිනිසුන් ගැන කියවෙන වෙනමම විදියෙ කථාවක්.

     ඇත්තටම මොකක්ද මේ අලි-මිනිස් ගැටුම කියල කියන්නෙ. මේක නිකං ලංකාවෙ හමුදාවයි ත්‍රස්තවාදීනුයි අතර තිබ්බවගෙ යුද්ධයක් නම් නෙමේ. මේකෙන් වැඩි හරියක් මිය යන්නෙ තම අයිතිවාසිකම් වෙනුවෙන් බෝඩ් උස්සගෙන ලිෆ්ටන් වට රවුමෙ කෑ කෝ ගහන්න බැරි, තම ජීවිතය වෙනුවෙන් තුවක්කවක් අතට ගන්න බැරි අහිංසක කැළෑ අලි පිරිසක් සහ අන්ත අසරණ හේන් ගොවියන් කිහිප දෙනෙක් විතරයි. මම "විතරයි" කියල කියන වචනෙ පාවිච්චිකරේ හොදට හිතලම තමයි. ඔයගොල්ලන්ට මතකද දන්නෑ, අපිට කාලයක් තිබුනා බෝම්බයක් පිපුරුණා කියල කිව්වම බොහොම තැති අරගෙන පණ බේරගන්න දුවපු කාලයක්. පස්සෙ ඒක මෙන්න මේවිදියට වෙනස් උනා. ඒ කොහොමද කියල කිව්වොත් බෝම්බයක් පිපුරුණා කියල ඇහුනම අපේ "ශ්‍රී" මුඛයට නිතැතින්ම එන්නෙ "කීදෙනෙක් මැරිලද" කියන වචන ටික විතරයි. කිසිම ගානක් නෑ. තව දුරටත් කිව්වොත් මැරුණුගාන අහල "ආ එහෙමද" කියල කියපු පිරිසකුත් හිටියෙ නැත්තෙමත් නෑ. එහෙව් එකේ වසරකට ලංකාව තුල වනාන්තර අලි ජනගහනයෙන් 290ක් විතර මිනිස් වෙඩි පහරින් මැරුම් කනව කිව්වහම කවුරුහරි කිව්වොත් "අයියෝ ඕකත් ප්‍රශ්නයක්ද" කියලා මම පුදුම වෙන්නෙත් නෑ. ඊට අමතරව ගිය වසරෙ අලි ප්‍රහාර වලින් මිය ගියපු මිනිසුන් ගණන 50ක්. මේ දත්ත වන සංරක්ෂන අධිකාරියෙන් ගත්ත සැබෑ දත්ත. නගරබඳ අපේ අයටනම් සමහර විට මේවා මැජික් වගේ වෙන්නත් පුළුවන්. මොකද ඒගොල්ලො හැබැහින් අලියෙක් දකින්නෙ සත්තු වත්තට ගියොත් විතරයිනෙ.




     ඔන්න මිනිස්සු කිහිප දෙනෙකුත් මැරෙනව කිව්වම සමහරුන්ටනම් හිතෙයි මේකනම් පොඩි ගැටළුවක් තමයි කියල. හැබයි ඒකට උත්තරේ ඉන්න අලිටික මරල දාන එකද? ආ... මට තව ටිකකින් අමතක වෙනවානේ. අලි මැරෙන කොට කෑගහන පිරිසකුත් ඉන්නවා. අර දේශප්‍රේමියෝ වගේ කොටසක් ඉන්නෙ "සත්ව ප්‍රේමියො" කියල, සත්ව අවිහිංසාව ගැන මහ ලොකුවට කථා කරන පිරිසක්. ඒ ගොල්ලන්ටත් කෑගහන්න මතක් වෙන්නෙ තමන්ගෙ මල්ල පිරෙනවනම් විතරයි. එහෙමත් නැත්නම් කාගෙ හරි කත් ඇදීමකට පොඩි වාසියක් තකා ඕං කෑ ගහවි. මං එහෙම කියන්නෙ දසදහස් ගනනින් කුකුල්ලු, එළුවො, හරක් මරන රටේ උන්ව බේර ගන්න කථා කරන්න කෙනෙක් නැති නිසා. සමහරවිට උන් "සත්තු" කියන ජාතියට වැටෙන්නෑ කියල අළුත් සංශෝදනයක එහෙම දාල තියෙනවද දන්නෑ. :(

     ඔන්න ඉතින් මං මට පුළුවන් හැටියට තේරුම් කරන්න උත්සහ ගත්තා මේ ප්‍රශ්නය ගැන. තේරුනා මදි වගේ නම් පොඩ්ඩක් හොයල බලන්න වඳවීගෙන යන ක්ෂීරපායි සතුන්ගෙ නම් ටික හොයාගෙන. ඒවගේම ලෝකයේ අලි විශේෂ කීයක් ඉන්නවද? ස්වභාවිකව අලින් ජීවත් වෙන රටවල් මොනවද? ලෝකයම ගත්තම ලංකාවෙ අලියට හිමිවෙන්නෙ මොනවගේ තැනක්ද කියන ඒවා.

     ලිපිය වැඩිය දික් කරන්න මං කැමති නෑ. මේ ගැන කියන්න නම් දේවල් බොහොමයි. ඒ ගැන මං ටිකෙන් ටික කියන්නම්. ඒත් අදට ඇති. ඕයගොල්ලො මේක කියෙව්වනම් පොඩි ප්‍රතිචාරයක් දාල යන්න. මොකද ඇත්තටම මට දැන ගන්න ඕන මේක ඇත්තටම ප්‍රශ්නයක්ද නැත්නම් මට කොහෙහරි වැරදිලාද කියලා. ඔන්න එහෙනම් ආයෙත් කිව්වා බොහොමත්ම ස්තුතියි මේ වෙනුවෙන් ඔයාලගෙ වටිනා කාලය වැයකලාට. :)

4 comments:

Sampath said...

හොද මාතෘකවක්.කීයෙන් කී දෙනාද අනිත් අය ගන.යමක් කරන්න පුලුවන්නම් ලෝකයට දෙන ලොකුම ලොකු අදර්ශයක්.ට්‍රයි කරන්න හෙල්ප් එකක් අපිටත් කරන්න පුලුවන්නම් අනිවා කියන්න. gd luck

රූක්ස් said...

වැදගත් ලිපියක් මචන්. ලංකාවෙ ගොඩක් පළාත් වලට දැනෙන ප්‍රශ්නයක්. ඒත් අපේ අවධාන ඒ ගැන මදි.මේ විදිහට හරි මිනිස්සු දැනුවත් කරන්න උත්සාහ කරන එක ගොඩක් වටිනවා. දිගටම ලියන්න. සුබ පැතුම්

smartnuwan said...

ඇත්තටම වැදගත් මාතෘකාවක්..........මේකට අපි අලි මිනිස් ගැටුම කිව්වට...ඇත්තම ගටුම තියෙන්නෙ මිනිස්සු මිනිස්සු අතරම නේද? අලින් සහ අහිංසක ගැමියන් දැන් මේ ගැටුමෙ ඉන්න ඉත්තො විතර්යි.හැබැයි ඉතින් අලියෙක් මිනිහෙක්ව මරුවොත් හරි මිනිහෙක් අලියෙක්ව මැරුවොත් හරි ඒ NEWS එක PUBLISH කරන්න ජනමාධ්‍ය පොරකන එකනම් පුදුමයක් නෙමේ.ඇත්තටම මේ ප්‍රශ්නයට හරි විසදුමක් දෙන්න පුලුවන් අයව ඒකට යොමුකරන්න පුලුවන් උනොත් නම් ලොකු දෙයක්.

Unknown said...

Chosen a rare topic usually younger generation doesn't want to bother about.Nicely presented, well done.If you can get the attention of one person who can really do a change to this situation you have done enough i guess.well done Anuja, Keep on writing.