Friday, October 15, 2010

අලි-මිනිස් ගැටුමේ ආරම්භය

     ඉතින් කොහොමද? මෙච්චර ඉක්මනට ආයි ඔයාලව හම්බවෙයි කියල නම් හීනෙකින්වත් හිතුවෙ නෑ. මුලින්ම කියන්න ඕන, මගේ කලින් ලිපියට ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහොමත්ම ස්තුතියි. මගෙ යාළුවො කලින් ලිපියට මට දක්වපු ප්‍රතිචාර එක්ක මම හිතුවා තව ටිකක් මේක ගැන ලියන්න ඕන කියලා. ඇත්තටම හැමෝම මට කිව්වෙ "උඹට සිරාවට මේක ගැන හොයන්න ඕනනම් මේකෙ මුල හොයන් ඉඳපං" කියලා. ඇත්තටම මම ඒවෙනකොටත් ටිකක් දුර හොයල තමයි තිබ්බෙ. ඇත්තටම "මම" කියනවටත් වැඩිය මම කැමති "අපි" කියල කියන්න. මොකද තරිඳු කියල මගෙ තව යාළුවෙකුත් මේකට දැන් සම්බන්ධවෙලා ඉන්නවා. හැබැයි මිනිහා මට කවද කියාවිද දන්නෑ " මචං උඹටනම් පිස්සු, ඩිග්රිය කරගෙන ආතල් එකේ සල්ලි හම්බ කරගෙන ඉන්නැතුව මේ මොනවද කරන්නෙ?" කියල යන්න යාවිද දන්නෑ. ;)

     කොහොම උනත් අද මම ඔයගොල්ලන්ට කියන්න ගත්තෙ අලි-මිනිස් ගැටුම ආරම්භ උනහැටි. හැබැයි අළුත් දෙයක් නම් නෙමේ වෙනසකට තියෙන්නෙ කවුරුත් කතාකරල නැති එක විතරයි. ඔයගොල්ලො හිතන හැටියට මේක පටන් ගත්තෙ කවද විතර වෙන්න ඇතිද? එක එක් කෙනා එක එක අවුරුදු කියයි. මටනම් වැටහුන විදියට මේක පටන් ගත්තෙ මිනිසා ගොවි යුගය ආරම්භ කරපු දවසෙ ඉඳන්. ඇයි මම එහෙම කියන්නෙ කියල ඔය ගොල්ලන්ට පැහැදිලි වෙයි ඉතුරුටික කියව ගෙන යනකොට. ගොවි යුගයට කලින් ගල් යුගය සහ එඬේර යුගය කියල යුග දෙකකුත් තිබුන නේ. ඇයි ඒකාලෙ අලි හිටියෙ නැද්ද? හිටිය, හැබැයි ඒ කාලවල අලි සහ මිනිසුන්ගෙ සහජීවනය හොදට තිබුනා. ගොවි යුගය ආවත් එක්කම මිනිහා බැලුවා එක තැන ඉඳගෙන තමන්ට අවශ්‍ය පෝශ්‍යදායී ආහාර ටික වගාකරගන්න. ඔන්න එතකොට අලියාට තේරුනා කැළේ අමාරුවෙන් හොයාගන්න කෑම වලට වඩා මිනිහ වගාකරන ආහාර රසෙන් සහ ගුණයෙන් වැඩි බව. ඒ නිසා අලියා බැලුවා පුළුවන් හැමවෙලාවෙම ගොවියගෙ වගාව කාල දාන්න.

     ඇත්තටම කිව්වොත් අලියයි මිනිහයි අතර තියෙන සමානකම් ඉතාමත් වැඩියි. අලියගෙ ආයු කාලය මිනිසාගේ ආයු කාලයට බොහෝදුරට සමානයි. අලිය කන්න කැමති කෑමයි ගමේ මනුස්සය කන්න කැමති කෑමයි බොහොමත්ම සමානයි. මිනිහා කැමති තමන්ට අවශ්‍ය දේවල් ඉතා පහසුවෙන් ලැබෙනවනම්, අලියත් එහෙමයි. හරියටම කිව්වොත් ගමේ ගොවියාගෙ වගා බිම කියන්නෙ හරියට අපිට තියෙන සුපර් මාකට් එකක් වගේ. අපි කැමතිද සේරම බඩු එකම තැනින් ගන්න පුළුවන් කම තියෙද්දිත් කඩවල් තුන හතරක රස්තියාදුවෙලා වැඩි ගානක් දීලා තත්වයෙන් අඩු බඩු ටිකක් අරගෙන ගෙදර යන්න. නෑ නේ. ඒවගේම තමයි අලියත්. ඌත් කැමති ගොවියගේ වගා බිමට ගිහින් මුංද, තලද, මෙනේරිද, කෙසෙල්ද, කොස්ද ඔය කියන සේරම දේවල් කාලා ඇගේ පතේ හිරි ඇරගන්න ඔය පැත්තක තියෙන ගහක් දෙකකුත් කඩල දාල ඒත් මදිවගේ දැනුනොත් ගොවියගෙ ගේටත් පොඩි තට්ටුවක් දාගෙන එන්න. ඒ විතරක් නෙමේ තව සමාන කම් ගොඩක් තියෙනවා. තව හිත් ඇද ගන්න සමානකමක් තමයි තමන්ගෙ ප්‍රදේශයට ඇතුල්වෙන අය තෝර ගන්න විදිය. ඇත්තටම කිව්වොත් මේක පිරිමි සතාගෙ වැඩක්. පිරිමි අලියා නොයෙක් උපක්‍රම යොදනවා අනිත් අලින් අභිබවා තමන් ඉහළයි කියල පෙන්නන්න. උන් කරන වැව තමා, හැකි උපරිම උසින් ගසක අත්තක් කඩා ගෙන කාල තව ටික දවසකින් ඇවිත් ඊට උඩින් වෙන අලියෙක් වෙන අත්තක් කඩා ගෙන කාලද කියල බලන එක. ඇතෙක් නම් කරන්නේ තම ඇත් දත් පහරකින් විශාල ගසක සිදුරක් හදල අර වගෙම ටික දවසකින් ඇවිත් වෙන ඇතෙක් ඊට උඩින් සළකුණක් දාල තිබ්බොත් පරණ එකා මාරු වෙලා යනවා. ඔයවගෙ එක එක ආතල් වැඩ තියෙනවා උන්ගෙ ලෝකෙත්. මට කියන්න ගියපු එකත් අමතක උනානෙ. කොහොමහරි පිරිමි අලියා තම ප්‍රදේශෙට ඇතුල්වෙන්න දෙන්නෙ ගැහැණු අලින්ට විතරයි. ගැහැණියෙක් නම් කිසිම බාදාවක් නෑ පිරිමියෙක් නම් ඔන්න සද්ද බද්ද ගොඩයි. අපි වගේම තමයි. ;)

     ඔන්න ඔහොමයි අලි-මිනිස් ගැටුම ආරම්භ උනේ. කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් දැන් අලින්ටයි මිනිසුන්ටයි සහ ජීවනයෙන් ඉන්න බැරිද කියලා. ඔන්න එතකොට තමයි සිංහල පාඩමක් ගෙන හැර දක්වන්න වෙන්නේ. මම "සහජීවනය" කියන වචනෙ කලිනුත් පාවිච්චි කරපු නිසා මම ඒ වචනෙ ගැනත් පොඩ්ඩක් විතර මම දැන ගත්ත විදියට පැහැදිලි කරල දෙන්නම්. සහජීවනයේදී අදාල පාර්ශව සියල්ලම එකිනෙකාගෙන් වාසි අයත් කරගන්න ඕන. තවදුරටත් සරල කරල අපේ උදාහරණයත් එක්කම ගලපළ කිව්වොත් අලියා මිනිසාගෙන් කෑම ලබාගන්නව වගේම මිනිසාටත් වැඩකට ඇති වැඩක් කරල දෙන්න ඕන. ප්‍රශ්නෙ එන්නෙ අන්න එතනදි. දැන් කාලෙ අපිට අලින්ගෙන් ගන්න පුළුවන් වැඩ මොනාද? වැඩ නම් තියෙනවා ඒත් ඒව කරගන්න පහසු වෙනත් ක්‍රමත් දැන්තියෙනවා. ඒ ඇරෙන්න නූතනයේ අලියගෙන් කරගන්න එකම වැඩේ පෙරහැරට සහභාගි කරවා ගැනීම විතරයි. ඇත්තටම අපිට අලින්ගෙන් වෙන මුකුත් කරගන්න බැරිද?

     ඒ ගැන මම වෙන දවසක කථා කරන්නම්. ඔය ගොල්ලන්ට කලිනුත් කියල තියෙනව වගෙ මේක මාර ආතල් විශයක් අධ්‍යනය කරනවනම්. හැබැයි මධ්‍යස්ථව හිතන්න ඕන. වෙලාවකට අලියෙක් වෙන්න ඕන තව වෙලාවකට ගොවියෙක් වෙන්න ඕන. හැබයි අන්තිමට මේ ලිපියට වචනෙකින් හරි ප්‍රතිචාරයක් දාල යන්න අමතක කරන්න එපා. :) බොහොමත්ම ස්තුතියි කිව්ව එහෙනම් ඕං.

3 comments:

sampath said...

හ්ම්ම්ම්.එල එල හුගක් දේවල් හොයල තියනවා.මම හිතුවෙ මේකත් අනිත් එව වගේ ආරම්බයේදීම අවසානයි කියලා.
එහෙම වෙලා නෑ.මට හිතෙන්නේ තව හුගක් දුර යන්න තියනවා කියලා.නොසෑලී ඉදිරියටම යමු.:)

රූක්ස් said...

පොඩි අදහසක් දෙන්න කැමති මචන්.ඇත්තටම ඔය ප්‍රශ්නෙට ප්‍රධානම හේතුව අලින්ගෙ කෑම රටාව නෙමෙයි නේද?
("අලියාට තේරුනා කැළේ අමාරුවෙන් හොයාගන්න කෑම වලට වඩා මිනිහ වගාකරන ආහාර රසෙන් සහ ගුණයෙන් වැඩි බව. ඒ නිසා අලියා බැලුවා පුළුවන් හැමවෙලාවෙම ගොවියගෙ වගාව කාල දාන්න.")
අදහසට අනුව කෑම කියල තමයි හිතෙන්නෙ. සාම්ප්‍රදායික අලිමංකඩවල් ඇහිරුන එක තමයි ඔය ප්‍රශ්නයට ආරම්භය කියල මට හිතෙන්නෙ.(අලියෙක් උනාම ජොගින්ග් කරන්නත් ලොකු ඉඩක් ඕනනෙ :) ).වැරදි නම් හරි ගස්සන්න.ඕක ගැටුමක් වෙන්න පටන් ගන්නෙ ඒක නිසයි.

රැක ගන්න ඕන සම්පතක් ගැන වගේම විසන්න ඕන ප්‍රශ්නයක් ගැනත් ලියන එක ගොඩක් හොදයි.දිගටම ලියන්න

Anuja said...

රුක්ස් වෙත : ඔව්, ඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත. අලියෙකුට සාමාන්‍යයෙන් දවසකට කිලෝ මීටර 30ක් 40ක් ඇවිදින්න ඕනලු. දැන් අපේ ලංකාවේ තියෙන බොහෝ රක්ෂිත වනාන්තරවල එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරටවත් එච්චර දුරක් නැතුව ඇති. මොකද මිනිස්සු වගා කරන්නත් අනවසර ඉදිකිරීම් වලටත් වනාන්තර භාවිත කරන නිසා. මිනිසාට වගේම සත්තුන්ගෙත් මූලික අවශ්‍යතා තමයි ආහාර සහ වාසස්ථාන. අලියා, මිනිසාට කරදර කරන්න එන්නේ අපි උගේ මායිම් වල අනවසරයෙන් ඉන්න නිසා සහ අපි ඌට කරදර කරයි කියල හිතුනොත් තමයි. මමත් විදුලි වැට කියන සංකල්පයට එච්චර මනාප නෑ. මොකද ඒකෙනුත් වෙන්නෙ අලියට ඇවිදින්න පුළුවන් ඉඩ ප්‍රමානය සීමා වීමක්. අපිට පුළුවන් නම් අලියා වගා බිම් සීමා හෝ මිනිසුන් ජීවත්වෙන සීමවන් වලට ඇතුල්වෙන කොට මිනිසුන්ට අනතුරු ඇඟවීමේ විදියක් හඳුන්වා දෙන්න ???