Monday, September 6, 2010

හුදකලාවූ ආත්මයකට පන පොවන වෙස්සගිරිය

    
     පූජනීය නගරයක් වූ අනුරපුර, වෙස්සගිරියට හිමිවන්නේ වෙනමම වැදගත්කමක්. ඒ කියන්නෙ මෙය වන්දනාමනයට පාත්‍රවන තැනක් නොවුනද ආදිකාලයේ භාවනානුයෝගීව වැඩසිටි පිරිස් මෙම ස්ථානය බහුලව භාවිත කරල තියෙනවා. මම මෙම ලිපිය ලිවීමේ අරමුණ, මා මෙන්ම ලස්සන පරිසරය බලන්න කැමති කාටහෝ පොඩි ඉඟියක් දීම. එහෙම කිව්වම මතක් උනේ ඔය ගොල්ලො දන්නවත් ඇති එක පොහොසත් මනුස්සයෙක් දෙපාරක් හඳට ගිහින් තියෙනවලු. සාමාන්‍ය මිනිහෙක් එහෙම දෙයක් කරන්න වියදම් කල යුතු මුදල් ප්‍රමාණයගැන මං අමුතුවෙන් කියන්න ඕන නෑ මං හිතන්නේ. එක එක් කෙනාගෙ ආශාවන් වෙනස් ඒ නිසා ඔහු කරපු දේ ගැන මට මුකුත් කියන්න නෑ. ඒත් මේ ලෝකෙ, අපේ ලංකාවේ අපි නොදැකපු ලස්සන තැන් කොච්චර කියල තියෙනවද?


     මම මුලින්ම කියන්නම් වෙස්සගිරියට යන්නෙ කොහොමද කියලා, හැබැයි මම ගියෙනම් යතුරු පැදියක නිසා පැහැදිලි විස්තරයක් කියන්න අමාරුයි. ඒත් කමක් නෑ දන්නටික කියන්නම් කෝ. මේක තියෙන්නේ පරණ අනුරාධපුර - කුරුණැගල මාර්ගයේ. අනුරාධපුරේ ඉදන් යනකොට ඉසුරුමුණියට හැරෙන්න පාරක් හම්බවෙනවා. ඒකෙන් හැරෙන්නැතුව කෙළින්ම තව මීටර කීපයක් ගියාම ගල් පර්වථ වලින් හැදුනු ලස්සන පළාතක් තියෙනවා. අන්න ඒක තමයි මම මේ කියන වෙස්සගිරිය.


     ඇත්තටම කිව්වොත් මෙතන කලින් පොඩි පන්සලක් තිබිල තියෙනවා ඒත් මෙතන තියෙන විශේෂත්වය විදියට මමනම් දකින්නෙ විස්සකට ආසන්න ප්‍රමාණයක් තියෙන ගල් ගුහා. මම මුලිනුත් කිව්වනෙ මෙතන භාවනා කරන්න එහෙම හොඳ තැනක් කියලා. අදටත් එතන ගල් ගුහාවක තාපසතුමෙක් ඉන්නවා. ඔහුනම් දිගටම එතන ඉන්න කෙනෙක්ලු, ඔය ගොල්ලන්ටත් ගියොත් බලාගන්න පුලවන්. ඊට අමතරව එදානම් උපාසක මහත්මයෙකුත් හිටිය. කුතුහලය නිසාම ඔහුත් එක්ක කථාකරල බැලුවම තමා දැන ගත්තෙ ඔහුත් එදා රෑ ගල්ගුහාවක ගත කරන බව. අපි එතනින් එනකොටත් රෑ වෙලා ඒ එන වෙලාවෙත් ඔහුනම් එතන හිටියා.

     මෙතන බ්‍රාහ්මී අක්ෂර සහ කටාරම් කොටපු ගල් ගුහා නම් බහුලව දැකගන්න පුලුවන්. සමහරක් පුරාවස්තුනම් කෞතුකාගාරයට ගෙනිහින් කියල ඒ පුරාවස්තු තිබුන තැන ගලක කොටල තිබුනා. මෙතන කලින් පිළිම ගෙයක්, ස්වාමීන් වහන්සේලා ආහාර වළඳපු තැනක් ආදිය තිබුනලු. හැබැයි දැන්නම් ඒතැන් වල තියෙන්නේ පොඩි ගල් කනු ටිකක්, ඉතුරු සේරම විනාශවෙලා.



     මම විස්තර කිව්වා වැඩියිද මන්ද? කොහොම උනත් ගිහින් බලන තරම් ආතල් එකක් නම් වෙන නෑ. ඔයගොල්ලොත් ගිහින් බලන්න, යන්න කැමති අයට යන විදිය හරි කියන්න. ඔය සමහර කුහක මිනිස්සු වගේ සේරම හංගන් ඉන්න එපා. ඒගොල්ලො හිතන්නෙ ඒ අය විතරක් පරිසරය දැක්කම ඇති කියලා. මේවා කාගෙවත් පෞද්ගලික දේවල් නෙමේ හැමෝටම රස විදින්න සහ ඒ ආකාරයෙන්ම මතුපරපුරට ආරක්ෂා කරල දෙන්න තියෙන දේවල්. මං මෙහෙම කිව්වෙ නකල්ස් පැත්තෙ සවාරියක් යන්න කියලා හිතාගෙන ගියපු කෙනෙක් ගෙන් විස්තර අහන්න ගිහින් විදින්න උන දුක මතක් උන නිසා. මට විස්තරයක් කියන්න විනාඩි පහක් හොයාගන්න බැරි ඔහුගෙ ඇතැම් වැඩ කරල දෙන්න මම පැයගනන් නාස්තිකරල ඇති. සුන්දර විස්තරයක් අවසානයේ අසුන්දර වචන දෙක තුනක් දැම්මට සමාවෙන්න, ඒත් මේව තමා අටලෝ දහම කියන්නෙ මන් දන්න තරමින්. සතුට සහ දුක කියන්නෙ එකම කාසියෙ දෙපැත්තලුනෙ.



     වෙස්සගිරියෙ සුන්දර පින්තූර බලන්න ඕනනම් මගෙ මුහුණු පොතට ගොඩවෙන්නකෝ. එහෙනම් මන් ගිහින් එන්නම්. ආයි හම්බ වෙමුකෝ... :)

No comments: