Tuesday, July 3, 2012

෴ සොඳුරු මීමුරය බලා... ෴


     ඉතින් කොහොමද යාළුවනේ... මට නම් මාස ගානකට පස්සේ ජීවිතයට නව පනක් ලැබුනා වගේ. ඒ මොකද කිව්වොත් සොඳුරු පරිසරයක කාලය ගෙවන්න අවස්ථාවක් ලැබුනා. ඒවටත් පිං කරල තියෙන්න ඕන ;-) ඒක නෙමෙයි... ඔය ගොල්ලෝ සූරිය අරණ චිත්‍රපටිය නරඹලා තියෙනවද? බය වෙන්න එපා, මම මේ චිත්‍රපටියක් ගැන ලියන්න යනවා නෙමෙයි. ඒ චිත්‍රපටිය නිසා මට දැන ගන්න ලැබුනු සුන්දර පරිසරයට ගිය ගමනක් ගැනයි ලියන්න යන්නේ. වෙන කොහේවත් නෙමෙයි, මීමුරය ගැන.

මීමුරය

     සුපුරුදු විදියට කොළඹින් ගමන ආරම්භ කරත්, අනිත් බොහෝ දේ අළුත් අත්දැකීම් උනා. මේ පාර චාරිකාව ගියේ කාර් රථයක, චාරිකාවට සහභාගි උනේ මගේ සුපුරුදු විශ්ව විද්‍යාල මිතුරන් ටිකනම් නෙමේ වෙනත් විශ්ව විද්‍යාලවල සහෝදරවරුන් කිහිප දෙනෙක්. සාමාන්‍යයෙන් මගේ ලිපිවල ගිය අයගැන සඳහනක් වෙන්නේ නැති උනාට මේ අය ගෙන නම් වාක්‍යයකින් හරි කියන්න ඕන කියල හිතුනා. මුලින්ම සඳහන් කරන්නම් චූල අයියා ගැන ( චූලානන්ද සමරනායක ). මගේ ජිවිතයේ මුන ගැසුනු අපූරු මිනිසෙක්. ජ'පුර විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙක්වන ඔහු වර්ථමානයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රධාන භාෂා පරිවර්ථක ලෙස කටයුතු කරන අතර පියානෝ වාදකයා”, “සමුගනිමි ගුල්සාරි ආදී කෘති ගණනාවක් පරිවර්ථනය කරලා තියෙනවා.

මීමුරයට යන අතර මඟ...

     දෙවැනි චරිතය තමයි අසංක අයියා (අසංක සායක්කාර). මොහුත් ජ'පුර විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙක් වන අතර කළා අංශයේ වැඩ කටයුතු බොහෝමයකට සම්බන්ද පුද්ගලයෙක්. ලංකාවේ වැඩි දෙනෙක් දන්න අදුනන විදියට කිව්වොත් “ජීවිතය ලස්සනයි”, “සිහින පුරය” වගේ ජනප්‍රිය නාට්‍ය කිහිපයක් ලියඋනේ මෙයා අතින්. තවත් ජ'පුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක් අපිත් එක්ක සම්බන්ධ උනා ගමනේ මැදදි. ඒ තමයි ලලිත් අයියා. වැඩි දෙනක් එයාව අඳුනන්නේ "තෙලා" අයියා කිව්වොත් තමයි ;-) තෙලා අයියා තමයි අපේ මාර්ගෝපදේශකයා හැටියට කටයුතු කරෙත්. අනිත් චරිතය රජරට විශ්ව විද්‍යාලයේ උපාධි  අපේක්ෂකයෙක් වෙන රෝෂන් මල්ලි. ඔන්න ඔයටික තමයි අපේ නඩය.

තෙල්දෙණිය පැරණි නගරයේ නටඹුන්

     කොහොමහරි උදේ පාන්දර කොළඹින් ආරම්භ කරපු ගමන නුවරින් එලියට යද්දි ටිකක් දවල් උනේ නිසිතූ රථ වාහන තද බදයකට මුහුන දෙන්න සිදු උන නිසා. නුවරින් තෙලා අයියවත් වාහනයට දාගෙන හුන්නස්ගිරියට යන අතරමග දක්නට ලැබුනු විශේෂ ස්ථානයක් තමයි තෙල්දෙණිය පැරණි නගරයේ නටඹුන්. ඉහළ පිංතූරයෙන් ඔය ගොල්ලන්ට බලාගන්න පුළුවන් තෙල්දෙණිය පැරණි නගරය අපි යන මාර්ගයට දිස්වෙච්ච ආකාරය. ලංකාවේ කෙරුනු තවත් අසාර්ථක ජල ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් තමයි ඒ.

හුන්නස්ගිරිය නගර මධ්ය යට පෙනෙන සුන්දරත්වය

     අපේ ඊළඟ නැවතුම උනේ හුන්නස්ගිරියේ තියෙන තෙලා අයියගේ ගෙදර. රථයෙන් පිටතට පය තියෙනවත් එක්කම ගසාගෙන යන තරමේ සීතල සුළඟකට මුහුන දෙන්න උනා. වාසනාවකට වගේ මගේ තෙහෙට්ටුව විතරක් ඒ හුළඟත් එක්ක ගහගෙන ගිහින් ගමනේ ඉතුරුටිකට හොඳ ප්‍රාණයක් ලැබුනා. හුන්නස්ගිරිය නගර මධ්‍යයට අවට සුන්දරත්වය මනාවට පේනවා. ඉහත රෑපයෙන් දැක් වෙන්නේ ඒ වගේ සොඳුරු දසුනක්.

මීමුරය


     මෙතනින් අපි මීමුරයට යාමට ඇති දුෂ්කර මාර්ගයට පිවිසුනා. එම මාර්ගය ආරම්භ කරන තැනම, මාර්ගය සංවර්ධනය කිරීමේ සංඛේතයක් ලෙස තැබු පලකයක් නම් දක්නට ලැබුනා. ඒත් කවදා, කෙසේ, කොහොම එම මාර්ගය නිම වෙයිද කියන එක ගැන කියන්න කාටවත් බෑ. පුද්ගලික වාහනයක් නැතුව හුන්නස්ගිරියේ ඉඳන් මීමුරේට ඔයගොල්ලො යන්න හිතාගෙන එනව නම් දවල් 12.30 වෙන කොටවත් හුන්නස්ගිරියට ඇවිත් ඉන්න. මොකද කියනවනම්, ඒ ගමට බස් ධාවනයක් සිද්ද වෙන්නේ නෑ. වාහන දෙකකින් හුන්නස්ගිරියේ ඉඳන් ගම ඇතුලට මගීන්ව ගෙනිහින් දානව. වාහන දෙක දවල් 12.30ත් 1.30ත් අතර හුන්නස්ගිරිය නගරයෙන් පිටත් වෙනවා. එක වාහනයක් මීමුරේ ගමටම යනවා. අනිත් එක යන්නේ කයිකාවල කියන ගමට. කයිකාවල ඉඳල මීමුරේට කිලෝ මීටර 4ක් විතර තියෙනවා.

කෝර්බට් කපොල්ල


     අපේ ගමනාන්තය උනේ කයිකාවල කියන ගම. එතෙන්ට යන අතරත් බලන්න දේවල් කිහිපයක් තියෙනවා. ඇත්තටම කිව්වොත් ඒ පරිසරයේ තියෙන ලස්සන දැක්කම ඇස් ඉවතට ගන්න හිතෙන් නෑ. ප්‍රසිද්ධ ස්ථානයක් තමයි කෝර්බට් කපොල්ල. ඒතන ඉදන් දකින පරිසරය මගේ දුරකථන කැමරා කාචයට අසුවෙලා තිබුනේ ඉහළ තියෙන පිංතූරයේ විදියටයි. මෙතනත් තද සුළං තියෙන තැනක්. තවත් තැනක් තමයි, වෙඩි ලුනු ගුහාව. මෙතන්ට යන පාර විතරයි අපි දැක්කේ. එතන්ට යන්න බැරි උනේ දැනටමත් අපි පරක්කුවෙලා තිබුන නිසා. මොකද අපි හිතන් හිටියේ අපේ අද දවසේ අන්තිම නැවතුමට ගිහින් කූඩාරමකුත් ගහන්න. ඒනිසා රෑ වෙන්න කලින් යන්න ඕන උනා.

දෙකිඳ


     අපි වාහනය කයිකාවල ගමේ නවත්තලා කූඩාරමට අවශ්‍ය බඩුයි, කන්න උයන්න අඩුම කුඩුමයි අපේ ඇඳුම් ටිකකුයි අරගෙන දෙකිඳ කියන තැනට යන්න පිටත් උනා. වෙල් මැදින්, කැළේ මැදින් ගියපු ගමනේ අවධානම ගැන තෙලා අයියා කිව්වෙ, කකුල ලිස්සුනොත් අඩි සීයක් දෙසීයක් විතර පල්ලෙහ තමයි නවතින්නෙ කියලන වාක්‍යයෙන්. කොහොම කොහොම හරි අපි දෙකිඳට ගියා. මේ තැනේ විශේෂත්වය තමයි, ගංඟා දෙකක් එකතුවෙලා පොඩි දිය ඇල්ලක් ආකාරයට පල්ලෙහට බැසීම. හැබැයි අපි මේතන නියම සුන්දරත්වය දැක්කේ ඊළඟ දවසේ උදේ. ඉහළ ඡායා රූපය ඒ ගැනයි. අපි එතෙන්ට එනකොට කළුවර වැටිලා ඉවරයි. පෝය ළඟ නිසා හඳ එලියනම් තිබුනා. මුලින්මකරේ ගිනි මැලයක් ගහන එක. අත්දැකීම් බහුල තෙලා අයියා ගැලපෙන විදියේ කොටන් ටිකක් කැළෙන් හොයාගෙන ආවා. ඉන්පස්සේ කූඩාරම ගහගන්න අසාර්ථක උත්සාහයක නිරතවෙලා, දැඩි හුළඟටත් කළුවරටත් දිනුම දීලා නිකන් ගල උඩ නිදා ගන්න අපි තීරණය කරා. දැඩි සීතලක්වත් පින්නක්වත් නොතිබිම අපිට බොහොම වාසිදායක උනා.

ගිනි මැලය

     එදා රෑ කරන්න හිටපු ප්‍රධාන වැඩ දෙකෙන් එකක් උනේ, ගිනි මැලයෙන් කෑම උයාගෙන කෑම. ඒත් දවල්ටත් බත් කාල හිටියෙ නැති නිසා හැමෝටම බඩගිනියි. තෙලා අයියගේ අම්මට ඔය ගැන කලින්ම හිතිලද කොහෙද බතුයි, කොසුයි පළා මැල්ලුමකුයි අපිට දුන්නා. ඒ අම්මට පිං දීලා අපි මුලින්ම බත් ටික කෑවා. මං කලින් කිව්වනේ ප්‍රධාන වැඩ දෙකක් තිබ්බා කියලා. අනිත් එක තමයි ගිනි මැලෙන් මස් පුච්චගෙන කෑම. මොනා උනත් වැදි ගති ගුණ අමතක කරන්න බෑනේ. කොහොම හරි ඒ වැඩේ නම් සාර්ථකව නැගල ගියා :-)

දෙකිඳ

     ඔය විදියට පළමු දවසේ රෑ ගෙවීගෙන යන්න ගියේ පුංචි වැහි පොදකුත් එක්ක. ඒ වෙලාවෙනම් කූඩාරම් රෙද්ද ටිකක් ප්‍රයෝජනවත් උනා. හැබැයි ඇත්තම කිව්වොත් මෙට්ටයක් උඩ නිදාගන්නවට වඩා සැපට ඒ ගඟේ ගල උඩ නින්ද ගියා. උදේ නැගිටල බලන කොට තමයි තේරුනේ අපි නිදාගෙන තියෙන්නේ වතුර තියෙන කාලෙට වැහෙන ගලක් උඩ කියලා. ගඟේ ඉහළට එකපාර තද වැසි වැටිලා සැර වතුර පාරක් ආවනම් තාමත් අපි ගහගෙන යනවා ;-)

     කාලෙකින් ලියන්න ගත්ත නිසා ලිපිය කෙටි කරන්න හිතෙන් නෑ. ඒත් ඊළඟ දවසේ අත් දැකීම් ටිකත් මෙතනම ලිව්වොත් මේක ලිපියක් නොවී පොතක් වේවි :-) ඒනිසා චාරිකාවේ පළමු දවසේ අවසානයත් එක්කම ලිපියත් අවසාන කරන්නම්. තවත් පිංතූර බලන්න ඕනනම් මගේ මුහුණු පොතට ගොඩවෙන්න. තව එක වැදගත් දෙයක් තියෙනවා. මේ විදියට මම ගියපු අලංකාර තැන් ගැන කියන්නේ ඔය ගොල්ලන්ටත් යන්න. හැබැයි ගිහින් විනාස කරල එන්න එපා. තව කෙනෙකුට බලන්න ඉතුරුකරල එන්න. මොකද මුදල් කොළවලටත් කෘතීම සීතල වාතයටත් වඩා ගැමි සුවඳට කැමති අය තාමත් අපි අතර ඉන්නවා. ගිහින් එන්නම්... :-)


2 comments:

Anonymous said...

හ්ම්ම් .. ස්තුතියි අපිටත් ගමන ගැන කිව්වට යාළු..ලස්සන පින්තූර ටික ! :)

AnujAroshA said...

හිරුහිමාවී... ස්තුතියි... ප්‍රශංසාත්මකවූ වදනක් තැබුවාට... :-)